Friday, October 28, 2016

සැබෑ ප්‍රේමවන්තයින් සමාජයට අවැසිව ඇත.

සැබෑ ප්‍රේමවන්තයින් සමාජයට අවැසිව ඇත.


ප්‍රේමය නම් රාගයෙන් තොර 
සඳ එළිය සේ අචින්ත්‍යයි 
පාරිශුද්ධයි, සුර්ම්‍යයයි

ප්‍රේමය යන්න සුර්ම්‍ය සහ පිවිතුරු බවට පත් වන්නට නම් එහි රාගය යන්න නිශේධ වියයුතු බව නන්දා මලිනී ගායනා කරන එම ගීතයෙන් කියවේ. ආදරය යන්නට සමාජය තුළ යම්කිසි සීමාන්තික ඉඩක් ලැබී තිබේ. නමුත් රාගයෙන් තොර වීම තුළ ප්‍රේමය පිවිතුරු වුවද ප්‍රේමය යන්නෙහි නියම අරුත එයට හිමි වේද යන්න ගැටළුවකි.
ආදරය, ප්‍රේමය, සෙනෙහස, කැමැත්ත, ලෙන්ගතුකම වැනි වචන සියල්ලම පාහේ සමාජයේ එකම කතාබහකට අයත් වන වචන මෙන්ම එක් සංස්කෘතික සීමවකට යටත් කර ඇති වචන වේ. ඉන් ආදරය හා හා ප්‍රේමය යන්නෙහි කිසිම වෙනසක් නැතැයි බොහෝ දෙනෙකුගේ අදහස වී  ඇත. නමුත් ආදරය හා ප්‍රේමය යන්න සැබැවින්ම අදහස් වෙනස් වන්නා වූ වචනය.ආදරය ප්‍රේමයෙන් වෙනස් වන්නේද යන පැනයට පිළිතුර "ඔව්" වන්නේ කෙසේදැයි යම් විටෙක සමාජීය භාවිතය පමණක් ඇත්තෙකුට සිතෙනු ඇත. අප ආදරය කරන්නට සැබැවින්ම විරුද්ධ ලිංගිකයෙකුම සොයන්නේ මන්ද? අප විටෙක මව, පියාට, සහෝදර, සහෝදරියන්ට, නෑදෑ හිත මිත්‍රාදීන්ට ආදරය කරන්නෙමු. ගහ කොළට, ස්වභාව ධර්මයාට, සතා සීපාවට ආදරය කරන්නෙමු. විටෙක අප පාසලට ආදරය කරන්නෙමු. විටෙක අපි සරසවියට ආදරය කරන්නෙමු, සරසවි ප්‍රේමයට ආදරය කරන්නෙමු. මෙලෙස අපි බොහෝ ජීවි අජීවි දෑට ආදරය කරන්නෙමු. 
එහෙත් අප ප්‍රේම කරනුයේ විරුද්ධ ලිංගිකයෙකුටය. එසේත් නොමැතිනම් ආදරය කිරීමට සහ අදාලව පරස්පරය වන්නේ ලිංගිකත්වයයි. එනම් ප්‍රේමය යන්න ලිංගිකත්වයෙන් තොර විටෙක එය පරම පාරිශුධ්ද පිවිතුරු ප්‍රේමයක් වන්නේය යන්න උභතෝකෝටිකයකකි. එහෙත් අපි අදටත් එසේම කියයි. එයට හේතුව වී ඇත්තේ සංස්කෘතියයි. පිටත සමාජයේ සංස්කෘතිය ගොඩනැගෙනුයේ ආගම, ජාතිය, කුලය, දුප්පත්, පොහොසත් වැනි සාධක මුල් කරගෙනය. ආගම සංස්කෘතිය බිහිවීම කෙරෙහි බොහෝ දායකත්වයක් සපයයි. එසේනම් ප්‍රේමය රාගයෙන් තොර වූ විටෙක එය සඳ එළිය සේ අචින්ත්‍ය වන්නේ ආගම මුල් කරගත් සංස්කෘතිය නිසාම මිසක ප්‍රේමය සැබැවින්ම එසේ වන නිසා නොවේ.එහෙත් අපි ආදරය (ප්‍රේම) කරන්නෙමු. ඒ සඳහා ප්‍රේම දඩයමේද යන්නෙමු. කෙසේ හෝ ලිංගිකත්වයද එයට මුසුකරගෙන සැබෑ ආදරයක පහස සොයන්නට බොහෝ පෙම්වතුන් උත්සහ ගනිති.

"ආදරය සම්බන්ධයෙන් සමාජයේ කෙසේ නිර්වචණ බිහිවුණද සැබෑ ලෙසම "ආදරය යන්න විරුද්ධ ලිංගිකයන් සමඟ ඇතිවන ලිංගිකත්වය හා බැඳුණු ආධ්‍යාත්මික බැඳීමකි." සමාජ පරිණාමනයේ මූලිකාරම්භයේ පටන් මෙසේ ආදරය යන්න මානව අවශ්‍යතාවක් වන්නට ඇත. මානව සමාජයේ මූලික අවධියේදී එක්ව දඩයමේ යෙදුණු මානවයා ආයුධ අත්පත් කරගත් දා සිට පෞද්ගලික දේපල හිමිකාරීත්වයට උරුමකම් කී අතර මෙය තමාගෙන් පසුව භාර දීමට අනාගත පරම්පරාවක අවශ්‍යතාවයක් ඇතිවිය. එහෙයින් තමන්ට හිමිකම් කියන පවුලක් නිර්මාණය කරගත් යුතු විය. පසුව ඉපදෙන දරුවා පෝෂණය කිරීමට හා රැක ගැනීමට සිදු වූ අතර ඉන් දරුවාව රැක ගැනීමට ගැහැණියට සිදු වූ අතර පිරිමියාට දරුවාව පෝෂණය කිරීමේ වගකීම පැවැරිණි. මෙසේ දඩයමේ යන සැමියා වෙනුවෙන් විශ්වාසය ඇති වීමටනම් ගැහැණිය තුළද පිරිමියා කෙරෙහි වූ ඇල්මක් ආදරයක් ඇති විය යුතු වේ.
ආදරය යන්න ලිංගිකත්වය පදනම් කරගෙන ඇතිවූවක් මිසක ලිංගිකත්වය ආදරයේ එක් අතුරුඵලයක් ලෙස බිහී වූවක් නොවන්නේය. ආදරයේ පදනම වන්නේ ලිංගිකත්වයයි.
එහෙත් වර්ථමාන සමාජය තුළ ආදරය යන්න කෙසේ නිර්වචණය කළ යුතුදැයි නොවැටහේ. ලහිපිට, ඉටුපිට, මංගල කිංකිණි වැනි පුවත්පත් වලටනම් ආදරය යනු කෙසේ හෝ හිමි දේපල වත්කම් හෝ ආධ්‍යාපන මට්ටම ගලපවා ගැනීමයි. දුරකථන ජාල සමාගම් වලට අනුවනම් ආදරය කිරීමට නම් පෙම්වතිය සමඟ හැකි තරම් මල් කැඩිය යුතුය. සමාජ ජාල වලට ආදරය යනු සයිබර් බැඳීමකි. රූපවාහිනී, ගුවන්විදුලි වැඩසටහ් වලටනම් ආදරය ප්‍රකාශ කළ යුත්තේ ගීත ඉල්ලීම් හරහාය. මෙගා නාට්‍ය හා චිත්‍රපටි වල නම් සැබෑ ආදර වන්තයින් වන්නේ කෙසේ හෝ දුප්පත් කෙල්ල හෝ කොල්ලා පොහොසත් කෙල්ල හෝ කොල්ලාව දුශ්ඨයින්ගෙන් බේරා ගැනීමකි. ආදරවන්තයින්ගේ දිනය තිබෙන්නේ චොක්ලට් අලෙවි කරගැනීමටය. තම ආදරවන්තයින් ආදර කිරීම සම්බන්ධයෙන් සෑම විටකම උභතෝකෝටිකයක හිර වී ඇත. එසේ නොවුණහොත් ගැටළු මතු වේ. නැතහොත් ආදරය දෙදරා යයි.
සැබැවින්ම එය එසේ වියයුතුමය. ධනවාදී ආර්ථිකයක් තුළ ලාභය ප්‍රධාන අරමුණක් වීමත් සමඟ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි අයිතීන් පමණක් නොව ආදරය, මනුස්සකම, පරිත්‍යාගය යන්නටද හැඩයක් හා මිලක් නියම වේ. එහිදී විවාහය යනු දේපල වල ගැලපීමක් යන්න අරුමයක් නොවන්නේය. ජාතිය, ආගම, කුලය ගැලපීම විවාහයක් ලෙස අර්ථගන්වනවා නොඅනුමානය.
ආදරය පිළිබඳව සාකච්ඡා කරන ඕනෑම විටෙක සරසවි ප්‍රේමයට විශේෂ තැනක් හිමි වේ. ඒ පිටත සමාජය තුළ දැකගත හැකි ආදර සබඳතා වලට එහා ගිය රමණීය ආදර සබඳතා වලට සරසවි භූමිය හිමිකම් කියන නිසාවෙණි.
සරසවි ප්‍රේමය පිටත සමාජයේ දී අත්විඳින ප්‍රේමයකට එහා ගිය අරුතක් එක් කිරීමට සමත් වන්නට කරුණු බොහොමයක් බලපා ඇත. එයට බොහෝ විට සරසවි උප සංස්කෘතය හේතු වෙයි. මන්ද පිටත සමාජයේ ඇති අන්තගාමී, ආගම්වාදී, දුප්පත් පොහොසත් භේද වලින් තොරව මනුසත්කම, සමානත්වය, සහෝදරකම වැනි අගනාකම් වලින් ජනිත වූ උපසංස්කෘතියක් සරසවි වලට උරුම වී ඇති නිසාවෙනි. සරසවි උපසංස්කෘතිය තුළ ආදර සබඳතා වලට සුවිශේෂී ස්ථානයක් හා වටිනාකමක් හිමි වේ. ආදරයට වෙන් වූ ස්ථාන නිර්මාණය කර තිබීම, මල් බකට් වැනි සංස්කෘතික අංග නිසාවෙන් මෙන්ම ආදරය කිරීමට ඇති නිදහසත් සරසවිය තුළ පිටත සමාජයට වඩා ඉහළ මට්ටමකින් පවතී.
සරසවිය තුළ සියල්ලන්ම සමාන මට්ටමකින් සලකන අතර ආදරය කිරීමට දේපල ගැලපීමක්, ආගම්, ජාති, වයස් ගැළපීමක් සිදු නොවේ. ආදර කිරීමම පමණක් සරසවි ප්‍රේමය තුළ ගලපණු ලබයි. සරසවියට පිවිසුණ දා පටන් හිරකර තිබූ සංස්කෘතික බැඳීම් වලින් ලිහිල් වීමට වසර හතරක් හිමිවන අතර ලිංගිකත්වය හා බැඳුණු ආදර සබඳතාවයකට සරසවිය තුළ අවකාශය නිර්මාණය වී ඇත.
තවද සරසවි ප්‍රේමය පිළිබඳව කතා කරන විට සිහි ගැන්වෙන තවත් දෑ අතුරින් පේරාදෙණියේ හන්තාන අමතක කළ නොහැක්කේමැයි. එසේම සබරගමුවේ ආදර කන්දට එම නම හිමි වී ඇත්තේද සරසවි ප්‍රේමවන්තයින්ට සුවිශේෂී මතකයන් හා ජනිතයන් බිහිකල නිසාවෙන්මය. සරසවි උපසංස්කෘතිය හා සරසවි ප්‍රේමය පිළිබඳව සැලකීමේ දී සරසවි උපසංස්කෘතිය තුළ ඇති කොකු වර්ග පහද මතක් කළ යුතුය. සරසවි සංස්කෘතිය යනු පිටත සමාජයෙන් වෙන් වූ හා ඊට වඩා දියුණු සංස්කෘතියකැයි අප විස්වාශ කරන්නෙමු. එහෙත් මෙවැනි පසුගාමී තත්වයන්ද සරසවි උපසංස්කෘතිය තුළ තවමත් නඩත්තු වෙමින් පවතී. 
උපසංස්කෘතියේ ආදර සබඳතා පිළිබඳව ඇති තවත් එක් කරුණක්නම් සරසවි තුළ ප්‍රේමවන්තයින්ට වෙන් වූ ස්ථානයන් තිබීමයි. මෙයට ඇතුළු වීමට නම් කොල්ලා සරසවියේ වීම අනිවාර්‍යයක් වෙයි. කොල්ලා සරසවියේ නම් පිට කොක්කක් සමඟ එහි යාමට හැක. නමුත් සරසවි කෙල්ලෙකුට තම පිට කොක්කත් සමඟ මෙම ප්‍රදේශයට යාම තහනම් වෙයි. මෙලෙස තවමත් සරසවි උපසංස්කෘතිය පුරුෂාධීපත්‍ය මූලික වූ සංස්කෘතීන්ගෙන්ද ගෙඩනෑඟී පැවතීම සංවාද කළයුතු කාරණාවකි. මෙවැනි සංකෘතීන් හමුවේ සරසවි ප්‍රේමයට වාරණයන් හිමි වන අතර සරසවි ප්‍රේමයේ ඇති සුන්දරත්වයන් අහිමි වේ.
කෙසේ වෙතත් වර්ථමානය වන විට සරසවි ප්‍රේමය පවතින්නේ කොතනද යන්නත් ගැටළු සහගතය. මන්ද පිටත සමාජයේ දී දකින දේපළ මත පදනම් වූ, රැවටීම, ලිංගිකත්වය වැනි කරුණු වලට පමණක්ම පදනම් වූ ප්‍රේම සබඳතාවලට එහා ගිය එකිනෙකා වටහා ගත් ආදර සබඳතා සොයා ගත හැකිද යන්නත් ගැටළුවක් වී ඇත. සංස්කෘතිය ගැනවත්, ආදරය සම්බන්ධයෙන්වත් නිවැරදි කියවීමක් ඔවුන් සතුවේද යන්නත් වටහා ගත නොහැකි වේ. 
ආදරය යන්න මනරම් කර ගැනීමට නම් ඒ පිළිබඳව නිවැරදි කියවීමක් ඇති පෙම්පතුන් අවැසි වනු ඇත. ඊට සරිලන සංස්කෘතියක ද අවශ්‍යතාවය ඇත. එවැනි ප්‍රබුද්ධ ජනතාවක් බිහි කිරීමත් ඊට ඉවහල් වන සංස්කෘතියක් බිහිකිරීමත් අවැසිව ඇත.
-අධ්‍යාපන අනුකමිටුව-
-මහා ශිෂ්‍ය සංගමය-
-ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය-