Sunday, December 22, 2019

ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත්තේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉටුකරනු ලබන සුවිශේෂී මෙහෙවර නිසාවෙනි. එසේම කලාව ඉතිහාසය හා සාහිත්‍යය තුළද සබරගමුව නාමයට ඇති කීර්තිය පිළිබඳව අලුතින් අටුවා ටීකා පැවසිය යුතු නොවේ. එමෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය මත ගොඩ නැගෙන සාමූහික ප්‍රයත්නයන් කරණ කොට ගෙන ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද බිහිවන බුද්ධිමතුන්,කලාකරුවන් , සමාජ හිතකාමීන් ගණන අපමණය. පරමාදර්ශී සමාජයකට නූතනයේ අවශ්‍ය වනුයේ උපාධිය කරපින්නා ගත් උපාධිදාරියෙකු පමණක් නොව සමාජ හිතකාමී විශ්වීය දැනුම සොයා යන ප්‍රබුද්ධ සමාජ ක්‍රියාකාරීන් බව මොනවට පැහැදිලි වේ. නිසගයෙන්ම සරසවියට උරුම වූ සෞන්දර්යාත්මක උරුමයන්ගේ පහස ලබමින් කලාව සමාජය තුළට ගෙන ඒමත් එමගින් සමාජයට අවැසි සමාජ හිතකාමීන්, ප්‍රබුද්ධ සමාජ ක්‍රියාකාරීන් බිහිකිරීමේ වෑයමක ප්‍රතිඵලයක් ලෙසත් සබරගමුව සරසවියේ "පිරිහිඹිනි දියවර" කලා මංගල්‍යය හදුන්වා දිය හැක. පිරිහිඹිනි දියවර ශිෂ්‍යයන්ගේ සාමූහිකත්වය මත හා ඔවුන්ගේ දහඩිය මහන්සිය මතින් සමාජයට දායාද වන තිළිණයක් ලෙස මෙවරද 11 වන වරට සබරගමුව මවු භූමිය තුළ යථාර්තයක් බවට පත්ව තිබේ.

යුගයෙන් යුගය පසු කරමින් විශ්වවිද්‍යාල පද්ධතිය ආ ගමන් මග තුළ පැවති අදුරු යුගයන් හා කාල පරිච්ඡේදයන් තුළදී පවා සරසවි සිසුවාගේ පැවැති සාමූහිකත්වය හීන නොවූ බව නොරහසකි. එහෙත් නව ලිබරල් ආර්ථික රටාවේ සංසිද්ධීන් හා සමාජයේ ඇති වූ යම් යම් වෙනස්කම් මත සරසවි සිසුවාද හුදකලා වීමටද ඉඩ තිබූ අතර එසේ නොවී බුර බුරා නැගෙන ගිනි දල්ලක් මෙන් මෙකී ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය බලවත් වීම කෙරෙහි කලා ක්ෂේත්‍රය තුළ ඇති වූ ප්‍රබෝධයන් පිටුවහලක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස කලාවේ උන්නතිය උදෙසා පිරිහිඹිනි දියවර කලා උළෙල සබරගමුව විශ්වවිද්‍යාලය තුළ ආරම්භ විය.

ශිෂ්‍යයන්ට දේශපාලනයත් , කලාවත් , අධ්‍යාපනයත් තව දුරටත් පැතිරුණු ක්ෂේත්‍ර ගණනාවකම දැනුම ලබා ගැනීමට නිරතුරුව ශක්තියක් හා ධෛර්යයක් බවට පත් වූ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ලෙස මෙවරද පිරිහිඹිනි දියවර කලා උළෙල සංවිධානය කරනුයේ සිය සමාජ වගකීම ඉටුකරලීමෙහිලා  මෙන්ම සමාජීය ගැටලු කෙරෙහි සංවේදී මිනිසුන් සමාජය තුළ උපද්ධවා ගැනීමේ අධිෂ්ඨානශීලී අරමුණකිනි. ලාංකීය කලාවේ විශ්වවිද්‍යාලයීය දායකත්වයට අවශ්‍ය සම්පත් සැකසීමේ ව්‍යායාමය ඇරඹීමට අවශ්‍ය ශක්තිය මහා ශිෂ්‍ය සංගමය ප්‍රමුඛ කරගත් සබරගමුව සරසවි දරුවන්ට ඇත. හෙට පිපෙන කැකුළු සොයා නැගෙන " පිරිහිඹිනි දියවර 2019 "  එකී ශක්තිය මගින් සමාජ මෙහෙවර උදෙසා දොරගුලු විවර වන්නේ දෘශ්ඨියක් නැති මිනිසුන්ට දෘශ්ඨියක් ද , අරමුණක් නැති මිනිසුන්ට අරමුණක් ද ලබා දෙමින් සමාජය යහගුණ පිරි සංවේදී මිනිසුන්ගෙන් බලාත්මක කිරීමේ අධිෂ්ඨානශීලී අරමුණෙනි.

සමාජ සංවර්ධනය උදෙසා කලාවේ දායකත්වය පිළිබඳවත් එකී කලාව සමාජයේ බුද්ධිමය ආමන්ත්‍රණයක් වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධයෙනුත් කතිකාවතක් සමාජයට ගෙනයාම අරභයා මෙම කලා උළෙල සංවිධානය වෙයි. වර්තමානය වන විට කලාව තම සමාජීය කාර්‍යභාර්‍ය මගහරිමින් නිර්මාණකරණයේ යෙදීම මහත් ඛේදවාචයක්ව ඇත.

ඉතිහාසයේ පටන් සමාජයේ එක් එක් ස්ථරයන්ගේ සහ අවධීන්ගේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක මැදිහත්වීම තුලින් කලාව ඉතා විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති බව සැබෑ කරුණක් වුවද, කලාව කලාවේ සංවර්ධනය උදෙසා යන්නෙන් බැහැරව 'කලාව සමාජ සංවර්ධනය උදෙසා' පැවතිය යුතුය යන්න සමාජයේ අදහසක්ව නොපැවතීමම කලාවේ ගුණාත්මක සංවර්ධනය සීමා කරයි.

එයට ප්‍රධානම බලපෑම ධනේෂවර සමාජ ක්‍රමය විසින් එල්ල කරමින් පවතී. කලල් දිය මතින් නෙළුම් පුබුදින සේ කලාවද ජරපත් ධනපති ක්‍රමය තුළ වුවද පරම පවිත්‍රව පැවතිය යුතු යයි සමහරෙක් විශ්වාස කරති. ඒත් ඔවුන්ගේ මේ හීන් කෙඳිරියට ධනපති කලාවේ ඇද කුද දිග හැරිය නොහැකිව ඇත. මේ සියල්ල සමතලා කොටගෙන වත්මන් ක්‍රමය තුළ කලාව ස්වකීය වූ භාවිතාවක අනුගතව හා තහවුරුව පවතී.

කලාව බුද්ධිමය ව්‍යායාමයක් සඳහා වන මාධ්‍යයක් ලෙස වත්මන් සමාජය හඳුනා ගන්නේ නැත. වත්මන් සමාජ දුෂ්ඨියට අනුව කලාව හුදු වින්දනය සදහාම පමණක් පවතින්නකි. නිවැරදිවම අර්ථ ගන්වන්නේ නම් විඳවීම සඳහා වන උත්තේජනයකි.

ධනේෂ්වර සමාජ දෘෂ්ඨියට අනුව කලාව කලාව වෙනුවෙන් යැයි පැවසුවද, සමාජීය අර්ථයෙන් කලාවේ වර්ධනය අපේක්ෂා කරන්නවුන් කලාව සමාජය උදෙසා යැයි පැවසුවද, සත්‍ය වශයෙන්ම සිදුවන්නේ "කලාව මුදලාලිලා වෙනුවෙන්ය" යන්නය. ධනේෂ්වර සමාජයේ හරාත්මක ක්‍රියාවලිය වන ප්‍රාග්ධනය විසින් ශ්‍රමය සූරාකෑම මගින් අතිරික්ත වටිනාකම් උත්පාදනය කිරීම වත්මන් සමාජයේ කලාවෙන් වියුක්ත වූ කරුණක් නොව. කලාවද ධනපති සමාජය තුළ විශාල කර්මාන්තයක් වී ඇති අතර එවන් විශාලත්වයේ පැවැත්ම තිරණය කරණුයේ උපයන ලාභය මතය.

එවන් වට පිටාවක කලාව පිළිබඳව පොදු සමාජීය විවේචනයක් ඉදිරිපත් වීම අපේක්ෂා කල යුත්තක් වුවද ජනතාවද කලාවේ මුදලාලීකරණය අනුමත කරමින් සිටීම කණගාටුවට කරුණකි.

කලාවේ රසවින්දනය ඒ ඒ සමාජයේ විඥාණය අනුව සිදුවන්නකි. පාසල් අධ්‍යාපනය තුළින්ම සීමා සහිත චින්තයක් සහිත මිනිසුන් බිහිකිරීම ආරම්භ කරන අතර වත්මන් ජනමාද්‍ය, ටෙලිනාට්‍ය, ගීත, චිත්‍ර, චිත්‍රපටි ඇතුළු විශාල කලා නිර්මාණ ප්‍රමාණයන් විසින් සමාජය තවත් අවිද්‍යාව වෙත ඇද දමමින්, සමජයේ තර්කණ හැකියාව, නිර්මාණශීලීත්වය, සමාජශීලීත්වය, පරාර්තය වැනි මානවීය ගුණාංගයන් අභාවයට යවමින් ලිංගිකත්වය, ප්‍රචන්ඩත්වය, ආත්මාර්ථය, යුධකාමීත්වය වැනි දුර්ගුණයන් වඩවමින් සිටීම වත්මන් සමාජය තුළ හිදිමින් සමාජ සංවර්ධනය උදෙසා කලාවේ භාවිතයක් අපේක්ෂා කරන්නවුන් මුහුණ දෙන මූලික අභියෝගයක්ව ඇත.

එවන් අභියෝග රැසක් හමුවේ කලාවේ භාවිතාව කුමන ආකාරයෙන් විය යුතුද යන්න පිළිබදව සමාජයේ කතිකාවතක් නිර්මාණය කරන්නට සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය "පිරිහිඹිනි දියවර" කලා මංගල්‍ය මගින් අපේක්ෂා කරයි. "මානව සංහතියේ සංවර්ධනය උදෙසා කලාවේ දායකත්වය" යන්න තේමා කොට ගනිමින් සංවිධානය වූ සංස්කෘතික පාගමන පසුගිය 08වන දින බලංගොඩ නගරයේ සහ පඹහින්න ප්‍රදේශයේ වීදි සංචාරය කරන්නට යෙදිණි. විශ්වවිද්‍යාලයේ සියළු සිසුන්ගේ සහභාගීත්වයෙන් සහ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන, පරිපාලන අංශයන්ගේ සහ පඹහින්න ප්‍රදේශවාසීන්ගේ පූර්ණ දායක්ත්වයෙන් සංවිධානය වී තිබූ පාගමන සරසවි සිසුන්ගේ කලා හැහියාවන්ගෙන් විචිත්‍රවත් විය.

"හෙට පිපෙන කැකුළු සොයා - පිරිහිඹිනි දියවර - 2019" කලා මංගල්‍යයේ සමාරම්භක උළෙල දෙසැම්බර් මස 12 වන දින විශ්වවිද්‍යාලයීය පණීභාරත එළිමහන් රංගපීඨයේදී පැවැත් විණි.

සමාරම්භක උළෙල සදහා ආරාධිතයන් වශයෙන් ප්‍රවීන රංගනශිල්පී තුමිඳු දොඩම්තැන්න, රංගන ශිල්පිනී කලනි දොඩම්තැන්න සහ රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා සම්බන්ධ වූ අතර ප්‍රධාන දේශනය මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා විසින් පවත්වන ලදි.

දෙසැම්බර් 12 වෙදායින් ආරම්භ වුණු කලා මංගල්‍ය පුරා මසක් විවිධ කලා වැඩසටහන් වලින් විචිත්‍රවත්ව විශ්වවිද්‍යාල භූමියේදී පවත්වන්ට සියළු කටයුතු සූදානම් කර ඇත. එම වැඩසටහන් පෙළ ගැස්ම අනුව,

දෙසැ. 08 - සංස්කෘතික පාගමන
දෙසැ. 12 - සමාරම්භක උළෙල
දෙසැ. 13 - "සමාජ සංවර්ධනය උදෙසා කලාව" සංවාදය
දෙසැ. 14 - වාදබයිලා වැඩසටහන
දෙසැ. 16- දෙසැ. 20 - වල සතිය (වේදිකා නාට්‍ය)
දෙසැ. 31 - ඉරිමාව
ජන. 01 - හිමිදිරිය
ජන. 02 - හේතුවාදීන්ගේ සංවාදය
ජන. 03 - පිරිකෙතක අස්වැන්න
ජන. 04 - අසනිය
ජන. 07 - නෑඹුල් සුවඳ
ජන. 09 - දියවර සිහිනය යන වැඩසටහන් පෙළගැස්වේ.

කලාවේ නවමු අත්දැකීම් විඳගන්නටත්, වඩා යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් කතිකාවතක් සමාජගත් කිරීමටත්, සබරගමුව සිසු සිසුවියන්ගේ දක්ෂතාවයන් දැක බලාගන්නටත් "පිරිහිඹිනි දියවර- 2019" කලා මංගල්‍යත් සමඟ සහෝදරත්වයෙන් එක්වන ලෙස ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය කලාකාමී සියළු හදවත් වලට ආරාධනා කරයි.











කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
සබරගමුව විශ්වවිද්‍යාලය

Saturday, May 26, 2018

අධ්‍යාපනයේ නිදහස විභාග අයිතිය අහිමිකරන 80%


අධ්‍යාපනයේ නිදහස විභාග අයිතිය අහිමිකරන 80% 

අධ්‍යාපනය යනු කිසියම් සමාජයක අනාගතය තීරණය කරනු ලබන ප්‍රමුඛතම සාධකයයි. මක්නිසාද යත් ඉතිහාසයක් පුරාවට සහ වර්තමානය වන විටත් මානව සමාජය විසින් එක් කරනු ලබන දැනුම අනාගත පරපුරට සම්ප්‍රේශණය කරනු ලබන මාධ්‍ය අධ්‍යාපනය වන බැවිනි. එබැවින් රටක අනාගතය සැලසුම් කරන්නේ නම් ඒ තුළ අධ්‍යාපනය සම්බන්ධ බරපතල සැලසුමක් පැවතිය යුතුය. එහෙත් එම අරමුණ සමාජීය අරමුණක් නොවන්නේ නම් එම සැලසුම් ඇති කරනු ලබන්නේ බරපතල අර්බුදයකි. සමාජයට අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම පිළිබඳව පහත අප්‍රිකානු මසායි මාරා ගෝත්‍රික කියමන මනාව පැහැදිලි කරයි.  එනම් "ඔබ සැලසුම් කරන්නේ වසරකට නම් - ධාන්‍ය වපුරන්න; ඔබ සැලසුම් කරන්නේ දශකයකට නම් - ගස් සිටුවන්න; ඔබ සැලසුම් කරන්නේ ජීවිත කාලයට නම්  ජනතාවට අධ්‍යාපනය දෙන්න" යන අධ්‍යාපනයේ සමාජීය අවශ්‍යතාව පැහැදිලි කරන කියමනයි. මෙවන් වටිනාකමක් ඇති අධ්‍යාපනය පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පරිපාලනයේ කියවීම සහ එවන් අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගෙන ඇති පියවරයන් පිළිබඳව අප නැවත සංවාද කළ යුතුව ඇත්තෙමු. 

නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාදාමය 1977න් පසු නව ලිබරල් ධනවාදයට ගොදුරු වීමෙන් පසුව සමාජයේ සියලුම ක්‍රියාවන් වෙළඳපළකරණයට ලක්වීමේ බරපතල අර්බුදයකට අප මුහුණ දෙමින් සිටින්නෙමු. එහි ප්‍රතිඵල ලෙස සමස්ථ සමාජයම පීඩා විඳින ලෙසින්ම විශ්වවිද්‍යාල සිසුන් ලෙස අපද බරපතල ලෙස මේ මොහොත වන විට පීඩා වි¢මින් සිටින්නෙමු. උක්ත ආර්ථික ක්‍රියාවලිය හමුවේ අධ්‍යපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් වීම හේතුවෙන් ඇතිවන පීඩාව හා අධ්‍යාපන ක්‍රියාවලිය තුළට වෙළඳ අරමුණු පැමිණීම තුළින් ඇති වන පීඩාව ප්‍රමුඛ සමස්ථ සමාජීය පීඩාව මේ වන විට අප ජීවිත බරපතල අර්බුදයකට පමුණුවා තිබේ. උක්ත ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට සිසුන් අධ්‍යාපනයේ සමාජීය අරමුණ ඉවත් කර වෙළඳපළ අරමුණු කරා ගෙනයාමේ බරපතල තත්වයක් උද්ගතව තිබේ. මේ හේතුවෙන් ගුරුවරුන් හා සිසුන් අධ්‍යාපනයෙන් පිටමං වීමේ බරපතල අවදානමක් මේ වන විට උද්ගත වී තිබේ. තවද සිසුන් හා ගුරුවරුන් අධ්‍යාපනයේ සැබෑ අරමුණෙන් පිටමං කරන අතරතුර අනෙක් පසින් පාලකයින් හට අවැසි පුහුණු ශ්‍රමිකයා නිර්මාණය කරගැනීම සඳහා අධ්‍යාපන ක්‍රියාවලිය දිශානතිගත වී තිබේ. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ උපාධි අපේක්ෂකයන් ලෙසත් වර්තමාන උසස් අධ්‍යාපනය සම්බන්ධ වගකීමක් ඇති පාර්ශවයක් වන අප මේ අර්බුදය වටහාගත යුතුම එකකි. 

උක්ත සංදර්භය හමුවේ මේ වන විට ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මෙන්ම අනෙකුත් විශ්වවිද්‍යාල වලටද තවත් ප්‍රධාන ගැටළුවක් උද්ගතව තිබේ. එනම් සිසුන්ගේ දේශන වලට පැමීණීම අනිවාර්ය කරමින් 80% ක අනිවාර්යක් ආවරණය වන පරිදි සිසුන් දේශන වලට පැමිණිය යුතු බවට නීති මාලාවක් හඳුන්වා දී තිබීමයි. තවද එම තත්වය තවත් උග්‍ර කරමින් සිසුන්ට 80% ක අවම සහභාගිත්වයක් නොමැති වුවහොත් එම විෂයට අදාල විභාගය පළමුවර පෙනී සිටීමක් ලෙස සලකන බවටත්, ඒ හරහා පළමුවර විභාගයට පෙනී සිටීම එම ශිෂ්‍යයාට අහිමි කරන බවටත් නීතියක්  ඇතුලත් කර ඇත. තවත් විශ්වවිද්‍යාල වල එම සිසුන්ගේ කණ්ඩායමෙන් අසමත් කිරීමට කටයුතු කරයි.  විශ්වවිද්‍යාලයක් වැනි විද්‍යාර්ථයන් බිහි කරන ආයතනයක් තුළ මෙවැනි නීති යෙදීම බරපතල අර්බුදයකි. මක්නිසාදයත් විශ්වවිද්‍යාලයක් යනු බුද්ධිමතුන් බිහිකරන තැනක් මිස පුහුණු ශ්‍රමිකයන් බිහිකරන කඳවුරක් නොවන බැවිනි. සමාසික ක්‍රමවේදය හමුවේ සිරකරන ලද සිසුන් තවදුරටත් නීතිමාලා මගින් සිර කිරීමෙන් බුද්ධිමතුන් බිහිකරගත හැකි නොවේ. මෙය අප විශ්වවිද්‍යාලයට පමණක් සීමා වූ ගැටළුවක් නොවේ. තවත් බරපතල විශ්වවිද්‍යාල ප්‍රමාණයකට මෙම නීතිය ගෙනවිත් තිබේ. එනම් මෙය උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පාලන තන්ත්‍රයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය විය යුතුය. නමුත් අධ්‍යාපන පරිපාලකයින් මෙවැනි ප්‍රතිසංස්කරණ ගෙන එන්නේ අධ්‍යාපනයේ ප්‍රගතියට නම්, මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රථම, 

  • අධ්‍යාපනයට අදාල මනෝවිද්‍යාත්මක සාධක මෙනවාද? 
  • ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට අවශ්‍ය පහසුකම් සම්පූර්ණව තිබේද?
  • අධ්‍යාපනය සම්බන්ධ බුද්ධිමතුන් මෙම නීති පිළිබඳව දක්වන අදහස් මොනවාද? 
  • ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන ගැටළු පිළිබඳව පරික්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵල මොනවාද? 
  • ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අතීතයේ මෙන් කිසිදු ක්ෂේත්‍රයක් කෙරෙහි දාර්ශනික සංවාද නොමැතිව ඇත්තේ ඇයි?
  • විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපන, පරික්ෂණ, ප්‍රකාශන, සාහිත්‍ය, දේශපාලනය, ක්‍රීඩාව තුළින් පිටමංව ඇත්තේ ඇයි? 
  • අතීතයේ මෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රමාණවත් ලෙස බුද්ධිමතුන් බිහිනොවන්නේ ඇයි?
වැනි කාරණා සම්බන්ධ අධ්‍යයනයක් කර ඇති ද යන්නයි. මක්නිසාද යත් අපගේ කියවීම අනුව සමාසික ක්‍රමය මෙවැනි ගැටළු වලට බරපතල හේතුවක්ව පවතියි. එහෙත් එවන් පසුබිමක සිට පවා තවදුරටත් පරිකල්පනය නොමැති මිනිසුන් බිහිකිරීමට තුඩුදෙන 80% වැනි මර්දන නීතිමාලා ගෙන එනු ලබන්නේ අධ්‍යාපනය කෙරෙහි ඇති සමාජමය ආකල්පයක සිට නොවන බව පැහැදිලිය. 
අප හට දක්නට ලැබෙන තරමින් නම් මෙම නීතිමාලා සහ සංස්කරණ හඳුන්වා දීමට ප්‍රථම එවැනි කිසිඳු මැදිහත් කිරීමක් සිදුකර නොමැත. මන්ද අප අධ්‍යයනය කර තිබෙන අධ්‍යාපන මනෝවිද්‍යාව තුළ ශිෂ්‍යයින් පීඩාවට ලක් කරමින් අධ්‍යාපනයට යොමු කිරීම සම්බන්ධව පවසා ඇති මූලික කාරණයක් සිහිපත් කිරීම සුදුසුය. එනම් "ඇන්ඩර්සන්" නැමැති අධ්‍යාපන මනෝවිද්‍යාඥයා අධ්‍යාපන මනෝවිද්‍යාවේ අර්ථ නිරූපනය කිරීම සඳහා ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරයි. 
  1. ශිෂ්‍ය ඉගෙනුම උපරිම වන්නේ කවර තත්වයක් යටතේ ද? 
  2. ඉගැන්වීම් උපකරණ හා ඉගැන්වීමේ ක්‍රියාවලියෙන් කවර නම් ලක්ෂණ ශිෂ්‍ය ඉගෙනුම පහසු කරන්නේද? 
යන්නයි. 
නමුත් උක්ත නීති සැසඳීමේදී මෙවැනි කරුණු සලකා බලා තිබේද, එසේ නොමැති නම් එම නීති වල අරමුණ කවර ආකාරයකින් හෝ කීකරු ශ්‍රමිකයෙකු නිර්මාණය කර ගැනීමද යන්න අප තවදුරටත් සිතා බැලිය යුතුය. තවද විසිවන සියවසේ බිහි වූ දාර්ශනිකයෙකු වන "බර්ට්‍රන්ඩ් රසල්" විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධ ඔහුගේ මතය පහත පරිදි ප්‍රකාශ කර තිබේ. "තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාලය තුළ නිකරුනේ කාලය ගත කිරීමට ඉඩ නොදිය යුතු යැයි මා ප්‍රකාශ කරන විට ඉන් අදහස් කරන්නේ කිසියම් යාන්ත්‍රික ක්‍රමයකට අනුගත වී කටයුතු කිරීම අධ්‍යාපනයේ සඵලතාවය මනින මිනුමක් ලෙස නොපැවතිය යුතු බවයි. මේ රටේ තිබෙන බොහෝ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට දේශන විශාල සංඛ්‍යාවකට සහභාගී වීම අනිවාර්ය කිරීමේ කණගාටුදායක ප්‍රවණතාවක් පවතියි."

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වලට සමාසික ක්‍රමය හා 80% නීතිය ගෙනෙන විට මෙන්ම 80% නොමැති වීම නිසා සිසුන්ගේ විභාග අයිතිය අහිමි කිරීමට නීතිමාලා සකස් කරන විට මෙම දාර්ශනිකයන්ගේ මතවාද හා අධ්‍යාපනයේ  මනෝවිද්‍යාත්මක හා සමාජවිද්‍යාත්මක පසුබිම විග්‍රහ කර ඇත්දැයි අපහට දක්නට නොමැත. මෙවැනි අධ්‍යාපන දාර්ශනික පසුබිම් සලකා අධ්‍යාපනයේ සැබෑ අරමුණ වන මානව සමාජයේ ප්‍රගතිය උදෙසා අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිසංස්කරණ විය යුතුය. නමුත් අධ්‍යාපනය අද වන විට වෙළඳ භාණ්ඩයක් හා වෙළඳ අරමුණු වෙනුවෙන් පුහුණු ශ්‍රමිකයකු නිර්මාණය කිරීමට පමණක් සීමා වී ඇති බවට මෙවැනි අධ්‍යාපනය තුළ නිදහස අහිමි කිරීම තුළින් මනාව පැහැදිලි වේ.

මෙලෙස ප්‍රබුද්ධ ප්‍රවේශයකින් තොරව බල කිරීම්, නිති දැමීම් සහ අධ්‍යාපනය තුළ සිර කිරීම් මගින් සිසුන් දේශන වලට ගෙන්වා ගැනීම් හේතුවෙන් අධ්‍යාපනයෙන් සිසුන් හා ගුරුවරුන් පිටමං වීම සිදුවනු නිසැකය. මක්නිසාදයත් අධ්‍යාපනය පීඩාකාරී ලෙස ලඟා කරගත හැකි දෙයක් නොවන බැවිනි. මෙලෙස බලකිරීම් මගින් දේශන වලට ගෙන්වා ගැනීමත්, බල කිරීම් මගින් අධ්‍යාපනය ලබා දීමත් හේතුවෙන් බිහිවන වෘතිකයින් තමාගේ වෘත්තීය ජීවිතය ගෙවනු ඇත්තේද අසහනයෙනි. මෙය වෘත්තීය ජීවිතය තුළ ඇති වන පීඩාවන් සමඟ එකතුව තව දුරටත් අසහනකාරී තත්වයකට වෘත්තීකයන් මෙහෙයවන බව නිසැකය. මෙය අධ්‍යාපන මනෝ විද්‍යාවේ "ඉගෙනුම් මාරුව" සංකල්පයෙන් තව දුරටත් පැහැඳිලි කර ගත හැකිය. නමුත් මෙවැනි සංකල්ප උක්ත නීති හා සංස්කරණ සිදුකරන විට සලකා බලා නොමැත. 

තවද විශ්වවිද්‍යාලයක වයුහය උක්ත පරිදි දේශන සදහා පමණක් දිශානතිගත වූ අධ්‍යාපන ක්‍රම සහිතව සිසුන් දේශන වලට ගෙන්වා ගැනීමේ ක්‍රම විධි ලෙස අධ්‍යාපනය සම්බන්ධව පුළුල් කියවීමක් නොමැතිව සකසන ලද 80% නීතිය වැනි නීති සමඟින් සිර කඳවුරු ලෙස සකස් කරමින් එහි සිසුන්ට, 
  • අධ්‍යාපනය
  • පර්යේෂණය 
  • ප්‍රකාශනය 
  • කලාව
  • දේශපාලනය 
  • ක්‍රීඩාව 
  • වෙනත් බාහිර ක්‍රියාකාරකම් 
කිසිවක් සඳහා යොමු වීමේ අවස්ථා සියල්ල  දැනටමත් අහිමි වී ඇත. සිසුන්ගේ දැක්ම විෂය මාලාවෙන් ඔබ්බට කිසිම ලෙසකින් යොමු වීමට කිසිදු ඉඩහසරක් ලබා දී නොමැත. සිසුන්ගේ පරිකල්පනය විෂය මාලාවට පමණක් සීමා වනු  දැකීමත් මෙහි ප්‍රතිඵල ලෙස විශ්වවිද්‍යාල තුළින් ශ්‍රමිකයින් පමණක් බිහි වනු  දැකීමත් පාලකයින්ගේ අරමුණ වී ඇත. එය එසේ වීම විද්‍යාර්ථයින් ලෙස කිසිලෙසකින්වත් අනුමත කළ නොහැකි කාරණාවකි. 
තවද ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අතීතයේ මෙලස 80% නීතිය පැවතියේ නම් සහ ව්යුහගත අධ්‍යාපනයකට පමණක් සරසවි සිසුන් දිශානතිගත කලේ නම් සහ නිදහසේ පරිකල්පනය මෙහයවීමට අවශහ් සිසුනගේ නිදහස සීමා කරන ලද්දේ නම්,
  • එදිරිවීර සරච්චන්ද්‍ර
  • ගුණදාස අමරසේකර
  • ලෙස්ටර් ජේම්ස් පීරිස්
  • මහාචාර්ය සුචරිත ගම්ලත්
  • මහචාර්ය තිස්ස කාරියවසම් 
  • හෙන්රි ජයසේන
  • දයානන්ද ගුණවර්ධන
  • සුගතපාල ද සිල්වා
  • ගුණසේන ගලප්පත්ති
  • මහාචාර්ය සරත් විජේසූරිය 
වැනි සංස්කෘතික බුද්ධිමතුන් ද මෙහි නම් සදහන් නොවු විවිධ ක්ෂේත්‍ර වල  බිහි වූ බුද්ධිමතුන් වැනි සමාජයේ වටිනාකමක් ඇති මිනිසුන් අනාගත සමාජයටම අහිමි වනු ඇත. අඩු මුදලකට වැඩි ශ්‍රමයක් ලබාදෙන ශ්‍රමිකයින් විශ්වවිද්‍යාල තුලින් බිහිකර ගැනීමට කැමති සමාගම් කරුවන් සතුටු කිරීම සඳහා මෙලෙස විශ්වවිද්‍යාලය තුළ පුහුණු ශ්‍රමිකයින් නිපදවා ගැනීමේ උත්සහයට සමාජ ව්‍යාපාරයක් ලෙස අප කිසි ලෙසකින්වත් එකඟ නොවන්නෙමු. 

එසේම අප සාකච්ඡා කරගත යුතු වැදගත්ම කරුණක් ඇත. එනම් පැහැදිලි ලෙසම ශිෂ්‍ය ප්‍රජාව අතර අධ්‍යාපනයට නැඹුරු නොවීමේ ගැටලුවක් පැවතීමයි. 1977න් පසු ලාංකීය සමාජය ද මෙම නව ලිබරල් ධනවාදයට ගොදුරු වීමේ ප්‍රතිඵලය ලෙස වර්ථමානයේ ජීවත් වන මිනිසුන් තුළ උක්ත පසුගාමී ලක්ෂණ බහුලව පවතී. විශ්වවිද්‍යාල සිසුන් හට ද එය එලෙසම බලපාන බව විවාදාත්මක නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල සිසුන්ද අධ්‍යාපනයට, කලාවට, දේශපාලනයට, ක්‍රීඩාවට, හා අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් වලට නොනැඹුරු පසුගාමී ලක්ෂණ සහිත උක්ත ක්ෂේත්‍ර වල වටිනාකම නොසලකන තමාගේ සුඛවිහරණය පමණක්ම සලකන විනෝදකාමියකු බවට  පත්වීමේ සමාජමය අවදානමකට ගොදුරු වෙමින් සිටී. එය දේශපාලනයට, කලාවට, ක්‍රීඩාවට, වෙනත් බාහිර ක්‍රියාකාරකම් වලටද එසේමය. ශිෂ්‍ය සංගමයක් හා අරගල කරන ව්‍යාපාරයක් ලෙස අපද එම පසුගාමී මානසිකත්වය හේතුවෙන් පසුබෑම් වලට ලක් වූ අවස්ථා බහුලව පැවති බවය. එම පසුගාමී මානසිකත්වය මෙම නව ලිබරල් ධනවාදී සමාජ ක්‍රමය විසින් මිනිසාට උරුම කර තිබෙන ඉරණමයි. මිනිසා සහ සමාජයට වැඩියෙන් ප්‍රාග්ධනයට මුල්තැන දෙමින් සැකසුණු නව ලිබරල් ධනවාදී නැමති අසාර්ථක සමාජ ක්‍රමය මඟින්, සමාජයේ සියලුම ක්ෂේත්‍ර වලට වාණිජමය අරමුණ කෙරෙහි නැඹුරු වූ ආත්මාර්ථකාමී ස්වාභාවයකින් යුක්ත වන අතර ඔවුන් තුළ සමාජමය අරමුණු කෙරෙහි එවන් වටිනාකමක් නොමැත. එබැවින් අධ්‍යාපනයට ද එය එසේමය. නමුදු අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් සටන් කරන අප එම අර්බුදයන් හමුවේ වුවද අධ්‍යාපනය, කලාව, ක්‍රීඩාව, දේශපාලනය සහ අනෙකුත් සෑම ක්ෂේත්‍රයන් සඳහාම සක්‍රීයව ප්‍රවේශ විය යුතුය. මන්ද අනාගත සමාජයේ බුද්ධිමතු ලෙස නම් කරන අප ඒ වන විට රොබෝවරුන් වී සිටීම සමස්ථ සමාජයේම ඛේදවාචකයක් වන නිසාවෙනි. එබැවින් මෙම පාලකයින්ගේ වුවමනාව වන රොබෝවරයෙක් වනවා වෙනුවට සමාජය වෙනුවෙන් අප අධ්‍යාපනය හැදෑරිය යුතුය. කලාව, ක්‍රීඩාව, දේශපාලනය, සාහිත්‍ය, පරීක්ෂණ සිදු කළ යුතුය.

නමුත් පරිනතයයි පවසන පරිපාලනය විසින් එයට විසඳුම ලෙස 80% අසම්පූර්ණ සිසුන්ගේ පළමු වර විභාගය අහිමි කරමින් එම විෂය අසමත් සේ සලකා ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කිරීමට කටයුතු කර ඇත. විශ්වවිද්‍යාල තුළ ආධ්‍යාත්මික, පරිකල්පනමය, සංස්කෘතික සහ දේශපාලනික ප්‍රබෝධයක් ඇති කරලීම සඳහා මැදිහත්  වීමයි. එවන් මැදිහත් කිරීම් තුළින් නැවතත් සිසුන් ඒවාට යොමුකර ගත යුතු බව අපගේ අදහසයි. එහෙත් එලෙස කිසිදු මැදිහත් වීමක් දක්නට නොමැත. එලෙස අප ශිෂ්‍ය සංගමය ලෙස මැදිහත් වන විටද බොහෝ අවස්ථා වලදී ඒවාට ද බාධාකරන අනුවණ පරිපාලකයින් අද වන විට උසස් අධ්‍යාපන ආයතන වල ප්‍රධානීන් ලෙස පත්කර තිබේ. වැලිවිටියේ ශ්‍රී සෝරත හිමි වැනි අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙනුවට අධ්‍යාපනයේ වටිනාකමක් නොදන්නා සුදුස්සන් ආදේශ වී තිබේ. මෙවන් තත්වයක් හමුවේත් අධ්‍යාපන කප්පාදු කිරීම් වලට එරෙහිව සටන් කිරීම සහ ශිෂ්‍ය සංගම් නායකයින් මර්දනය කිරීමට එරෙහිව සටන් කිරීම වැනි දුෂ්කරතා මැද පවා ශිෂ්‍යයන් ලෙස අපද එම අභියෝගය ජය ගැනීමට මැදිහත් විය යුතු වේ.
 

අවසාන වශයෙන් රුසියානු විප්ලවයේ නියමුවා වන  "වී.අයි.ලෙනින්" නැමැති නායකයාගේ අධ්‍යාපනය සම්බන්ධ උපුටනයක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමු. "ජීවිතයෙන් හා දේශපාලනයෙන් වෙනස් කරන ලද අධ්‍යාපනය බොරුවක් හා කුහකකමක් බව අප ප්‍රසිද්ධියේ කියා සිටිමු." මෙය අධ්‍යාපනය සම්බන්ධ බරපතල කියවීමක් ගෙනදෙන්නක් බව ඔබද පිළිගනු ඇතැයි අප විශ්වාස කරමු. මක්නිසාද යත් අධ්‍යාපනය යනු මානව සමාජයේ අනාගත සුබසිද්ධිය උදෙසා පවතින්නාක් මිස වෙළ`ද භාණ්ඩයක් නොවන බැවිනි.


නමුදු අධ්‍යාපනය වෙළ`දභාණ්ඩයක් කරමින් එය සමාජයේ එක් පාර්ශවයකට පමණක් උරුම වූවක් බවට පත් කිරීමට කටයුතු කරන පාලකයින් හා ඒ වෙනුවෙන් කටයුතු කරන පීඨයේ හා විශ්වවිද්‍යාලයේ පරිපාලනය කිසි විටෙකත් මෙවන් මර්දන නීති හකුළා ගනිමින් අපට අවශ්‍ය අධ්‍යාපන වටපිටාව නිර්මාණය කිරීමටවත්, සබුද්ධිමත් විද්‍යාර්ථයෙකු බිහි කිරීමටවත් කටයුතු නොකරනු ඇත. එසේම අධ්‍යාපනයේ නිදහස සම්බන්ධයෙන් අප හට පැන නැඟී ඇති සමස්ථ අර්බුදය හමුවේ අධ්‍යාපනය සම්බන්ධව මෙම කතිකාව උපයොගී කරමින් ඵලදායී මානව සමාජයේ යහපත වෙනුවෙන් සැකසුණු අධ්‍යාපන ක්‍රමවේදයක් සැකසීමට පියවර ගනු ඇතැයි ද බලාපොරොත්තු විය නොහැක. 
එබැවින් සිසුන්ගේ අධ්‍යාපන නිදහස හා විභාග අයිතිය අහිමි කරමින් කළමනාකරණ අධ්‍යයන පීඨය තුළ ක්‍රියාත්මක 80% නීතිය හා එම අවමය නොමැති වූවන් විභාගය පළමුවර පෙනී සිටිය සේ සැලකීමේ මර්දන ක්‍රියාමාර්ග හා එම සිසුන්ට විභාගය අහිමි කිරීමට ගෙන ඇති පියවරයන් පරාජය කර අධ්‍යාපනය සම්බන්ධ කතිකාවතක් සමාජය තුළ ඇති කරන බුද්ධිමත්, අවංක මැදිහත් කිරීමක් අධ්‍යාපනය වෙනුවෙන් සිදුකිරීමට අපට නැවතත් අරගල කිරීමට සිදු වනු ඇත.
 
නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීම උදෙසා අඛණ්ඩව සටන් වදිමු.
මහා ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

Monday, March 5, 2018

චීනයේ තාක්ෂණික සමාගමේ සේවකයින්හට අත්ව ඇති ඉරණම.

Inside Apple iPhone Factories labour Case.
චීනයේ තාක්ෂණික සමාගමේ සේවකයින්හට අත්ව ඇති ඉරණම.
අපි අද පාවිච්චි කරන නවීන ස්මාට් ජංගම දුරකථන, අයි ෆෝන්, අයි පෑඩ් හරිම ආකර්ශණීය වුණාට ඒවා නිපදවන මිනිසුන්ගේ කතාව නම් ඒ තරම් ලස්සන නෑ.
මේ පුංචි තැනක රස්සාවක් එහෙම නෙවෙයි. චීනයෙ මහ විශාල කම්හලක රස්සාවක්. උදේ 8.10 ට කම්හලේ සේරම සේවකයො එක තැනකට එන්න ඕන. මේ අවුරුදු දහ අටට අඩු අය, ගැබිණි මාතාවන්, පාසල් ගාස්තු හොයාගන්න ටික කාලයක් පාසලෙන් අයින් වෙලා වැඩට එන ලාබාල තරුණ දරුවෝ පවා මේ සේවක එකතුවේ ඉන්නවා. අටයි දහයට එක තැනකට එකතු වුණ මේ සේවකයො “වැඩ වල උසස් තත්වය පවත්වගෙන යන බව, මහන්සි වෙලා වැඩ කරන බව, එකමුතුව වැඩ කරන බව“ වගේ තවත් ආදර්ශ පාඨ හඩ නගලා කියමින් දිවුරුම් දෙන්න ඕන. උදේම තියෙන ඒ “උදය රැස්වීමෙ“ කාලය විනාඩි විස්සක්. ඒ විනාඩි විස්සට වැටුප් ලැබෙන්නෙ නෑ. 8.30 ට හරියට වැඩ පටන් ගන්නවා.
දවසේ වැඩ කරන පැය ගාණ පැය දොලහක්. ඒ පැය දොලහට කෑම වෙලාවක් තේ වෙලාවක් තියෙනවා. විනාඩි අනූවක්. කෑම කන්නෙ කෑම කන ශාලාවෙ ඉදන් විතරයි. වැඩ කරන වෙලාවේ කතා කරන්න බෑ. ඉදගෙන ඉන්න තැනින් නැගිටින්න බෑ. වැඩ කරන තැන වතුර බෝතලයක්වත් තියා ගන්න බෑ. ජංගම දුරකථන පාවිච්චියත් තහනම්. වැසිකිලියට යන්න, වතුර බොන්න යන්න වැඩ ප්‍රධානියාගෙන් අවසර ගන්න ඕන. එක වතාවකට එක්කෙනයි. දෙන්නෙකුට එක වෙලාවක මේ අවශ්‍යතා ඇති වෙන්නත් බෑ. කරන්න තියෙන වැඬේ තමයි අයි ෆෝන්, අයි පෑඞ් වල පසුපස කවරය ඇමුණුම් කරන එක. එක්කෙනෙක් දවසකට අයි ෆෝන් 600 ක කවර අමුනන්න ඕන.
කවුරු හරි කතා කරනව ඇහුනොත්, කවුරු හරි තමන් ඉන්න තැන ටිකක් හරි අපිරිසිදු කරල තිබුනොත්, ඒ මුලු ශාලාවෙම ඉන්න සේවකයින්ට දඩුවම් විදින්න සිද්ද වෙනවා. දඩුවම තමයි කිසිම ගෙවීමක් නැතිව පැයක් අතිකාල සේවය කරන්න සිද්ධ වෙන එක. වැඩ බිමේදී අමුත්තන් මුණ ගැහීම තහනම්. ඕපාදූප කතා කිරීම තහනම්. ලැබෙන පඩිය ගැන කාත් එක්කවත් කතා කිරීමත් තහනම්. දුම්බීමත් තහනම්. පත්තර අත්පත්‍රිකා හුවමාරු කරගැනීමත් තහනම්. වැඩ වර්ජන උද්ගෝෂණ සපුරා තහනම්. රෑ 8.30 ට වැඩ ඉවර වෙනවා. ඊට පස්සේ හැන්දෑවේ රැස්වීම. ඒ රැස්වීම නවය වෙනකල් තියනවා. ඊට පස්සේ පැයක දෙකක අතිකාල වැඩ. ලැබෙන පඩියෙ හැටියට අතිකාල වැඩ නොකර යන්තම් කාල ඇදල ඉන්නත් බැරි තරම්. සතියකට වතාවක් ඇපල් සමාගමේ වැඩ පරික්ෂක වරුන්ට යවන්න අතිකාල වාර්තාවක් අත්සන් කරලා දෙන්නත් ඕන. ඒ වාර්තාවේ තියෙන්නෙ නම් අතිකාල පැය 10 ක්. ඒත් අතිකාල වැඩ කරන්න සිද්ද වෙන පැය ගණන නම් සතියකට පැය විස්සකටත් වැඩියි. අතිකාල වැඩත් ඉවර වෙලා නවාතැනට යන්න පුලුවන් රෑ 11.00 ට විතර.
නවාතැන් පහසුකම් නම් ආයතනයෙන්ම දෙනවා. ඒ නවාතැනක එක කාමරේ එකොලොස් දෙනෙක්. එක වැසිකිලිය, එක නානකාමරය සිය ගණනක් පාවිච්චි කරනවා. නවාතැනේත් නීති රීති තියනවා. සුරතල් සතුන් ඇති කිරීම තහනම්. මත්පැන් පාවිච්චිය තහනම්. සදලුතල වල සිටගෙන සිටීම තහනම්. කාමර හෝ ඇදවල් මාරු කරගැනීම තහනම්. මේ චීනයේ විශාලතම අයි ෆෝන් නිපදවෙන කම්හලක සේවකයෙකුගෙ දින චරියාව. මේ විස්තරය සකස් කරල තියෙන්නෙ China Labor Watch කියන රාජ්‍ය නොවන සංවිධානය කරපු අධ්‍යයනයකින්. මේ අධ්‍යයනයට China Labor Watch කරුණු එකතු කරගත්තෙ Microsoft, Dell, Hp සහ Apple කියන ප්‍රකට සමාගම් වලට අයි ෆෝන් නිපදවන චීනයේ ප්‍රකට කර්මාන්තශාලා තුනකින්.
අපි අද පාවිච්චි කරන නවීනතම අයි ෆෝන්, අයි පෑඩ් ඇමරිකානු සමාගම් වල නිර්මාණ වුණත් ඒවා නිශ්පාදනය කෙරෙන්නේ චීන කර්මාන්තශාලා වල. අයි ෆෝන් ජංගම දුරකථන කොටස් නිශ්පාදනය සහ එකලස් කිරීම තමයි මේ කර්මාන්ත ශාලා වල සිද්ධ වෙන්නෙ. මේ කර්මාන්ත ශාලා වල සේවයට එන්නෙ චීනයේ දුප්පත්ම ගම්මාන වලින් රස්සා හොයාගෙන එන රැකියා නැති තරුණ තරුණියෝ. මේ කර්මාන්ත ශාලා වල ඒ සේවකයින්ට වැඩ කරන්න සිද්ධ වෙන්නේ හරිම දුෂ්කරතා මැද. ජීවත් වෙන්න කොහෙත්ම සෑහෙන්නෙ නැති තරම් අඩු පඩියකට. ඒ අයගෙ මාසික වැටුප ගොඩක් වෙලාවට මාසයකට ඩොලර් 250ක් විතර ඇති. හැබැයි සතියකට දවස් හයක්, දවසකට පැය දොලහක් එක හුස්මට වැඩ. මේ මුදලට වඩා කීයක් හරි අමතර ගානක් උපයා ගන්න මේ සේවකයෝ තවත් පැය කීපයක්වත් අතිකාල සේවයත් කරනවා. ඒ කියන්නෙ දවසකට පැය පහලවක් විතර මේ සේවකයෝ වැඩ.
චීනයේ කම්කරු නීති උල්ලංඝනය කරමින් මේ කම්හල් වල බාලවයස්කාර සේවකයිනුත්, ගැබිණි මව්වරුත් බොහොම වෙහෙසකාරී විදිහට අතිකාල සේවයේ යොදවනවා කියලත් China Labor Watch සදහන් කරනවා. ඒත් මේ එක කම්හලක සේවකයින් ලක්ෂයකට වැඩි පිරිසක්වත් සේවය කරන බව තමයි වාර්තා වෙන්නේ. මේ සේවකයින්ට නවාතැන් පහසුකම් දෙන්නෙත් ඒ ආයතන වලින්මයි. ඒ නවාතැන් වල තත්වයත් කොහෙත්ම සතුටුදායක නැහැ. සේවකයින් දහස් ගණනක් නවාතැන් ගන්න මේ නවාතැන් වල එක කාමරයක අට දෙනෙක් දොලොස් දෙනෙක් නිදාගන්නවා. පෞද්ගලිකත්වය රැකෙන නානකාමරයක් වැසිකිලියක් නෑ. ඒවාත් පොදු ස්ථාන. එක වතාවකට විසි දෙනෙක්වත් එකට නාගන්න, ශරීර කෘත්‍යය කරගන්න ඕන. තත්වය එහෙම වුණත් මේ නවාතැන් පහසුකම වෙනුවෙනුත් ඔවුන්ට ලැබෙන පඩිපතෙන් ඩොලර් දාසයක් අය කරගැනෙනවා.
මෙහෙම දුෂ්කරතාවන් විදගෙන කරන රැකියාව වුණත් ස්ථිර නැහැ. අයි ෆෝන් වලට ඉල්ලුම අඩු කාලයට මේ කම්හල් සේවකයින්ගෙ රැකියා අවදානමේ. ඒත් අයි ෆෝන් වලට, ටැබ් වලට ඉල්ලුම වැඩි වෙන කාලයට චීනයේ පතල් කම්කරුවන්ව පවා මේ කම්හල් වල දුෂ්කර සේවයට ගෙන්නා ගැනෙන බව Wall Street Journal ඉදිරිපත් කරන නව වාර්තාවේ සදහන් වෙනවා. දුප්පත්කම නිසා කොහොම හරි මේ රැකියාව කරන්නත් සිද්ධ වෙන, ඒත් රැකියාවේ තියෙන වෙහෙසත් මානසික පීඩනයත් දරාගන්න බැරි සමහර සේවකයින් සිය දිවි නසාගන්නත් පෙළඹෙනවා. පහුගිය කාලෙ Foxconn කර්මාන්ත ශාලාවත් විශාල ආන්දෝලනයකට ලක් වුණේ ඒ ආයතනයේ සේවකයින්ගේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව වේගයෙන් ඉහල ගිය නිසා. පීඩනය දරාගන්න බැරි තරම් නිසා සේවකයින් ආයතනයෙ ඉහල මහල් වලින් බිමට පැනලා සිය දිවි නසාගන්න පටන් ගත්තා. මේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉහල යන්න පටන් ගත්තාම කර්මාන්ත ශාලාවෙ පරිපාලනය කළේ සේවකයින්ට සියදිවි නසාගන්න බිමට පනින්න බැරි වෙන විදිහට කර්මාන්ත ශාලාවෙ කවුළු වලට යකඩ කම්බි වලින් ආවරණය කරපු එක.
කොහොම වුණත් මේ Foxconn ආයතනය සේවකයින් මිලියනයකට විතර රැකියාව සපයපු තැනක්. මිලියන හයක විතර ජනතාවක් ඉන්න ෂොන්ග්ෂොවු නගරයේ මැද්දෙ තියෙන මේ අතිවිශාල අයි ෆෝන් කර්මාන්ත ශාලාවෙ ඒ පලාතෙ ඉන්න දුප්පත්ම මිනිස්සු මිලියනයකට විතර රස්සාව කරනවා. මේ නිසාම ෂොන්ග්ෂොවු වලට “අයි ෆෝන් නගරය“ කියලත් කියනව. මේ අයි ෆෝන් නගරයෙ දවසකට අයි ෆෝන් ලක්ෂ පහක් (500,000) නිපදවෙනවා කියලයි කියන්නෙ. Foxconn,Pegatron වගේ මහාපරිමාණ අයි ෆෝන් නිශ්පාදන කර්මාන්ත ශාලා ගොඩක් චීනයේ තියෙනවා. ඒ කර්මාන්ත ශාලා වල සේවකයින්ගෙ ජීවිත වල නම් ලොකු වෙනසක් නෑ. දවසකට අයි ෆෝන් සිය ගණනක් හැදුවත්, තමන්ටම කියලා අයි ෆෝන් එකක් මිලදී ගැනීම නම් මේ කම්හල් සේවකයින්ට ජීවිතය පුරාම හැබෑ කරගන්න බැරි හීනයක්. ඒ තරම්ම ඔවුන්ගේ ජීවිත දුක්බරයි. ඒ මිනිසුන්ගේ මහන්සිය, දුක, වේදනාව, පීඩනය ඔබේ අතේ ඔය තියෙන වටිනා අයි ෆෝන් එකෙත් ඇති.

Wednesday, May 31, 2017

"මෝටර් බයිසිකල්" කතාව.......

"මෝටර් බයිසිකල්" කතාව.......

මතුපිටින් පෙනෙන්නා වූ සරළ බව නිසැකයෙන්ම වහන් වූ යථාර්තයන් පොඳි බැඳගත් එකකි. සමාජ කෲරත්වය මත සුන්දර වූ ජිවීත වල හිමිකම් සමාගම් වලට පැවිරෙන කාලයකි. ගලායාමේ ප්‍රවණතාවය මුල් වලින් උරා දී පෝෂණය කරන්නක් වැනිය. ජීවිත වල ඉරණම් ඇති නැති හැකියාව මත වෙළඳපොළ භාණ්ඩ බවට පත්ව ඇත. වුවමනාවන් අනුව මිල කෙරේ. කාගෙත් කුණු මතින් කුණු අරන් යන කුණු ට්‍රැක්ටරය ඒ උණු ගොඩත් හිස මතම තීරණය කරයි.

යටත් විජිතවාදයේ සළකුණු තැබූ මුහුණු, සිත්, සභ්‍යත්වයෙන් ඈත් කළ වියෝව අද අපිව සූරන් කයි. මිරිස් ගලට යටවුණ මෝටර් සයිකල් කථාව යුගයේ අවශ්‍යතාවය හදුනාගත්තකි. අම්මා, ලැයිම් ජීවිතය, මියුසික්, ආදරවන්තිය, අනාගතය, මෝටර් සයිකලය ට්‍රැප්ඩියකි. ධනපති වූත් නිර්ධන වූත්, බේබදු වූත්, අසික්කිත වූත්, කාමුක වූත් රෙස්ටුරන්ට් එකෙන් සොයන්නට උත්සහ කරන්නේ ජීවිතයයි. තමන්ගේ රසවින්දනය හකුළා තවත් බීගත්තවුන්ගේ අශාවල් වෙනුවෙන් පෙනී සිටී. බැනුම් අසයි. මහ පාරට  මධ්‍යම රාත්‍රියේ පිවිසී නිවස බලා යන්නේ වැටෙන්නට ඇති තැනක් පිළිබඳ විශ්වාසයෙනි. මතුපිටින් සුදු ගෑ කළු පාට වෑන් පුලුවන්කාරකම් පෙන්වන්නේ පිස්තෝලයේ කොකාගෙනි. මේ බිය ජීවිත ගමනේ වේගය වැඩි කරන්නේ තවත් ඒ පන්තියේම ත්‍රීවිලරයකට හයර් එක නොදී පැන යාමෙනි. මවගේ මාලය පහලොස්දාහකට උකස් කරන්නේ මෝටර් සයිකයකට ඇති හීනයකටය. හිනාවෙන මුදලාලිගේ අභ්‍යන්තරය නොදකින මොහු පසුදාම ආදරවතිය වෙනුවෙන් වෙන් කරයි. ආදරවන්තිය බාහිර පන්තියට නොයා තම ආදරවන්තයාගේ අළුත්(පරණ) මෝරට්සයිකලයෙන් ගමන ආරම්භ කරයි. චිත්‍රපට සිහිනය බොඳ වේ. යන්නේ වික්ටෝරියා පර්ක් එකට කතා කරන්නටයි. එහෙත් ඇයට එහි සිටීමට පරිසරයක් නොමැති නිසා පිටවේ. කෑම මුල දිගහැර කන්නට සැරසෙන විට යටද බාධක පැමිණේ. ඉන්පසු පිටවී යන අතරතුර මහා වැස්සකි. ඇදුම් කඩයකට කොටුවේ. ආදරවතිය විවිධ විලාසිතාවලට අයත් ඇදුම් ඇද මොහුට පෙන්වීය. ආපසු පිටව යයි. ආපසු මොටර්සයිකලයට ගොඩවී කාමරයක් කුලියට ගෙන දෙදෙනා තනි වේ. එයද නවතා ආපසු පිටවී මුහුදු වෙරළක් ලඟ නවතියි. එතනදී ආදරවතිය මොහුට සමුදෙයි. අනතුරුව රාත්‍රී කාලයම බීමත් වන තරුණයා එනවිට තමන්ට  මොටර්සයිකලයද තමන්ගේ ජීවිතයද අහිමි වේ.
මව ලඟ ඇති එකම වස්තුව රත්‍රන් මාලයයි. එය අකමැත්තෙන් හෝ තම දරුවාට දෙන්නේ ලැයිමයේ අනෙක් වුන් අතරින් ඔහු විශෙෂයක් කරවීමට විය හැකිය. ලැයිමයේ සංස්කෘතිය තුළ හිර වූ උපන් බිළිඳාත් රජමැදුරක උපදින බිලිඳාත් සමාජ විශමතාවයට ලක්වන්නේ කෙසේඳ? ලැයිමය තීරණය කළේත් රජමැදුර තීරණය කළේත් දෙවියාද? අපිද? මේ ඝට්ටනය පවතින අතරතුරම තරුණයා හරි අපූරුවට ගරාජයේ හිමිකරු රවටයි. අහින්සක බලාපොරොත්තු ලක්ෂ තුන හතරක එකක් නොවුණි. රුපියල් පහළොස්දාහක් වෙනුවෙන් තරුණයා රවටයි. පසුදා ලැයිමයේ වැලේ තිබූ අළුත්ම ඩෙනිම අතුරුදහන් වන්නේ කුඩුකාරයෙකු සොරක් කරන නිසාවෙනි. කුඩුකාරයා ලැයිමේය. හොරාත් ලැයිමේය. කුඩුකාරයා, හොරා, මිනිසා කොහේද? උපන් බිළිඳා හොරෙක්ද? කුඩුකාරයෙක්ද? හොරා කුඩුකාරයා කාගේ නිර්මාණයක්ද? අති දැවැන්ත වූ සමාජ ගැටළුවකි.
තම ආදරය වෙනුවෙන් වෙන් කරන දිනය තම අවසාන දිනය බව ඔහු දැන සිටියාද? හමු වීමට ඇති හැකියාවට වැට බැඳී ඇත්තේ ඇති නැති පරතරයි. ආදරවන්තිය තට්ටු දෙකේ ගෙදරකය. ආදරවන්තයා ලැයිමේ නිවසකය. උපන් බිළිඳා වෙන් කළේ කවුද? පාර්ක් එකේ ආදරවන්තයින්ගේ හැසිරීම නිරතුරුව පරීක්ෂාවට ලක් කරන්නට සිදු වූයේ ඇයි? ඒ වෙනුවෙන් මුරකරුවන් යොදවන්නට සිදු වූයේ ඇයි? ආදරය පිළිබඳ පැහැදිළි කියවීම සමාජයෙන් ඈත් කළේ කවුද? එය සිදු වූයේ කෙසේද? ධනවාදයේ උපරිමය තුල කාර්මීකරණයේ තාක්ෂණයේ උපරිමය තුළ සිටිමින් සොභාවදහම, මිනිස් මනස ව්‍යාකූල වූවාද? ආදර කිරීමේ අවශ්‍යතාවය එහි වටිනාකම් මොනවාද? නැවත සමාජ කථිකාවතවක් කිරීමට අවශ්‍යය. එතනින් යන මොවුන් මහ වර්ෂාවේ ඇඳුම් කඩය තුළ දී අපූරු කථාවක් ගෙන එයි. ගැහැණු ළමයෙකුගේ අශාවන් පිලිබඳවත් ඒ තුල මුදල මත පදනම්ව අසරණ වන තරුණයා ඇය සනසාලන්නේ ඒවා ලස්සනයි කියමින් හාද්දක් දී පමණි. ඔවුන් කුලී කාමරයක් කෙටි කාලයක් සඳහා වෙන් කරගෙන යයි. නමුත් එහිදී තරුණිය දක්වන අකමැත්ත නිසා ආපසු පිටවී යයි. පාරේ මනාල යුවලක් ඡායාරූප ගනිමින් සිටී. තරුණිය රූමත් ලාබාලය. තරුණයා ඉතා ධනවත් විය හැකිය. නමුත් කිසිම සමාජ දැනුමකින්, අත්දැකීමකින් තොර අඩු මානසිකත්වයක් ඇති අයෙකි. ඔවුන් එතනින් පිටවී මුහුදු වෙරළේදී තනිවන ඔවුන් දෙදෙනා ඉතාම දැඩි තීරණයකට එළඹේ. තරුණිය දිවිය පුරාවට ආදරය සෙනෙහස පෙන්වමින් ළඟින්ම සිට තරුණයාගෙන් වෙන්ව ආදරයට නැවතීමේ තිත තියන්නට අවසර ඉල්ලයි. තරුණයා ඊට කළින් තම ආදරවන්තිය වෙනුවෙන් සිහින මාලිගා තනන්නේ සුපර් ස්ටාර් කෙනෙක් වෙලා ධනවතෙකු වීමටයි. ඔහු සුවිප් මිලදී ගනියි. සුපර් ස්ටාර් කෙනෙක් වෙන්නට සිහින දකියි. 
මේපවතින සමාජ තලයේත්,පන්තියේත් තවත් ඉහළයයි සම්මත මුදල් ඇති අයෙකු වීමට ඇති අවශ්‍යතාවයයි. ලැයිමේ නිර්මාණය කරපු වුන් අහක බලා සිටිය දී වුන් සමඟම එකතු වෙන්නටදැයි මට මෙම තරුණයාගෙන් පෙනෙන්නට විය. ඒ කෙසේ නමුත් ඇය ඔහු අතැර අවසන් හාද්ද දී පිටවේ. තරුණයා නිහඬව අරක්කු වලට තම ප්‍රශ්නය භාර දෙයි. හොදට වෙරිවන තරුණයා මෝටර් සයිකලයේ සිටින විට අයිතිකාරයින්ට හමුවී ඔහුට පහර දී රැගෙන යයි. අම්මගේ මාලය රුපියල් පනස්දහසකට ලබාගත් මුදලින් උපන් මෝටර්සයිකලයත් අහිමිව ඉදිරියට යද්දී ලැයිමයේ අශ්වයෙක් වගේ බයික් එකක් තරුණයා වෙනුවෙන් ඉදිරිපත් වේ. ටික දුරක් ගොස් නවතා බයික් එක තරුණයාට දී ලැයිමට යන්නට කියා අයිතිකරු පිටත් වේ. ටික දුරක් යන විට වෑන් එකකින් කන වෙඩි උණ්ඩයකින් තරුණයාගේ කොන්ද පැත්තෙන් පසාරු කරගෙන යන්නට විය. 
එකිනෙකට ගැලපූ සිද්දි දාමයක අවසාන නිගමනය කුමක්ද? තරුණයා බිහිකළේ කවුද? කා වෙනුවෙන්ද? ලැයිමය හැදුවේ කවුද? තරුණයා හා තරුණිය වෙන්කළේ කවුද? තරුණයා වෙඩි උණ්ඩයට ලක් කරන්නේ කවුද? මේ සමාජ පැළුම් රේඛා සියල්ල නිර්මාණය කලේ කවුද? මෝටර් සයිකලයේ කතාවට විසදුමක් දෙන්නේ කවුද? කවදාද?

ඉසුරු ජීවන්ත
ව්‍යවහාරික විද්‍යා පීඨය

Saturday, April 1, 2017

"අලුත් අවුරුදු කාගෙද?"

"අලුත් අවුරුදු කාගෙද?"

සිංහල දෙමළ අලුත් අවුරුද්ද අතලඟටම ඇවිදින්ය. බක්මහේ ඇහෙන කොහාගේ හඬත් රබන් හඩත් එක තරගෙට ගම්මාන වලත් ගෙවල් වලත් ඇසෙයි. නමුදු කොහෙක් තියා කපුටෙක්වත් පේන තෙක් මානයක නැත. රබානක් තියා රබන් ගසන්නට දන්න අයෙකුත් සොයාගත හැක්කේ කලාතුරකිනි. නමුත්  රූපවාහිණී නාලිකා එම කාර්‍යභාර්‍ය තමන්ට පැවරුණු වගකීමක් සේ ඉටුකරමින් ඇත. නගරයක් පාසා කැමරාවක් ඔසවාගෙන යන මාධ්‍යකරුවන් "අවුරුදු සුබයයි" කැමරාවක සටහන් කරගත් සැනින් රටේ සියලු දෙනාට පෙන්වීමට ඇප කැප වී කටයුතු කරන කාර්‍ය බහුල කාල සීමාවකට ඇවිත් ඇත.
අතීතය දෙස බලමින් 'ඒ කාලෙනම් අවුරුදු පට්ට' යන කියමනට රුකුලක් වන්නට නොව වටිනාකම් සමඟින් නිර්මාණය වී ඇති සංස්කෘතියට විනාශයන් ගෙන එමින් මනුශ්‍යත්වය වල දැමීමට කටයුතු කරන්නේ කවුරුන්ද යන්න විමසා බැලීමට මෙම ලිපිය ලියන්නෙමු.

          මෙම නව වසර සංස්කෘතික වශයෙන් අප්‍රේල් හෙවත් බක් මාසයේ මාසයේ සමරනු ලබන අතර අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි. විවිධ විශ්වාස සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳී පවතී. කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස මේ අතර වේ. බුද්ධ වර්ෂ 300 දී පමණ ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදීම මඟින් බෞද්ධාගමික පරිසරයක් තුල අලුත් අවුරුදු චාරිත්‍ර කිරීමට මඟ පෙන්වනු ලැබීය. රටේ බහුතර ජනතාව බෞද්ධයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙමින් සිංහල අවුරුදු වත් පිලිවෙත් කිරීමට අදත් ශ්‍රී ලාංකික ජනතාව හුරු පුරුදු වී සිටිති.
            අනෙක් අතට හින්දු ආගම ගැන සලකා බලන කල එය පුරාතණයේ සිටම බුදු දහම හා සමාන්තරව පැවතුනු ආගමක් ලෙස හඳුනා ගත හැක.එම නිසා නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හින්දු ජනතාව අතර හින්දු ආගමට අනුකූලව වැඩි දියුණු විය.බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එකිනෙක හා බැඳී පැවතිනි. එම නිසා බෞද්ධයින් හා හින්දු භක්තිකයන් අතර අවුරුදු චාරිත්‍ර වල විශාල පරස්පරතා හඳුනා ගත නොහැක.
            මිථ්‍යා විශ්වාස හා ප්‍රබන්ධ වලට අනුව අලුත් අවුරුදු උදාව හින්දු සාහිත්‍යයට නියත වශයෙන්ම බැඳී පවතී.සාමයට අධිපති කුමරා ලෙස හින්දු ආගමේ සලකනු ලබන 'ඉන්ද්‍රදේව'පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබා දීම තහවුරු කිරීම ලෙස නව අවුරුදු උදාව සැලකේ.අවුරුදු කුමරා සුදු පැහැ රථයක නැඟී සුදු මල් වලින් සරසනු ලැබූ හත් රියන් උස ඔටුන්නක් හිස පැලඳ පොළවට වඩියි.ඔහු පළමුව පොළවේ ගුරුත්වාකර්ශණ බලය බිඳ දමා එය කිරි සයුර හෙවත් කිරි මුහුදේ ගිල්වා ගොඩට ගනු ලබන බවට මිත්‍යා විශ්වාසයක් ගැමි ජනයා අතර පවතී.
           වර්තමානයේ අවුරුදු දින සිරිත් විරිත් ඉටු කිරීම සාම්ප්‍රදායිකව නක්ෂත්‍රකරුවන් විසින් ලබා දෙන නැකැත් වේලාවන් අනුව කරනු ලබයි.එම නිසා අලුත් අවුරුදු උදාව සැමරීම ස්වදේශීය, හින්දු හා බෞද්ධ සම්ප්‍රදායන් වල සංකීර්ණ එකතුවක් ලෙස සැලකිය හැක.


කෘෂිකාර්මික රටක් වූ ලංකාවේ යල කන්නය අවසන් වී ගොයම් කපා අලුත් සහල් වලින් අටු කොටු පිරෙන සමය ආරම්භයත් සමග එන අවුරුද්ද අලුත් සහල් මංගල්‍ය ලෙසද හඳුන්වයි.  සූර්‍යා මීන රාශියෙන් මේස රාශියට ගමන් කිරීම මූලික කොටගත් නක්ෂත්‍ර විද්‍යාව මූලික කරගත් නැකත් චාරිත්‍ර හා ගෘහාශ්‍රිත මෙන්ම සමාජීය සංස්කෘතියක් ඉස්මතු කෙරෙන උළෙලකි. බොහෝ විද්‍යාත්මක මෙන්ම මිත්‍යා දුශ්ඨීන්ද ගැබ්ව ඇති අලුත් අවුරුද්ද වසර ගනනාවක සමාජ අත්දැකීම් එක්කොට වර්තමාන පරම්පරාව දක්වාද සම්ප්‍රේෂණය වී ඇත.
තම නිෂ්පාදනයන්ට දායක වන සූර්‍යා මූලික කරගෙන ගොඩනැඟී ඇති මෙම චාරිත්‍ර දමිළ ජනයා සිදු කරනුයේ තම නිශ්පාදනයේ ප්‍රධාන දායකත්වය සපයන්නා වූ ගවයා මූලික මූලික කරගෙනය. මිත්‍යා විශ්වාස මත සිදු කරනු ලබන නැකත් සම්බන්ධ කාරනා තව දුරටත් සමාජයේ ඉහලින් නඩත්තු වෙන අතර ඒ සදහා රජගෙදර නැකත් කරුවගේ සහය නොපැකිළිව ලැබෙනු ඇත.
ගැමි සමාජයේ අලුත් සහල් මංගල්‍ය මේ වන විට අලුත් අවුරුදු සැනකෙලියක් බවට පත්ව ඇති අතර සමාගම් වල මවාපෑම් වලින් තම අවුරුද්දේ හැඩය තීරණය කරගැනීමට මිනිසාට සිදුව ඇත. සියලුදෙනා එක්ව ගතකරන සහ සියලු අමනාපකම් අත්හරිමින් නව සබඳතා ගොඩනඟා ගන්නා අවුරුදු සමය වසරේ වෙහෙසකර වැඩමුරය අවසන ලබන නිවාඩු කාලය වීමද මෙයට රුකුලක් වන්නෙය. ගෙවල් දොරවල් අලුතෙන් තීන්ත හෝ ගොම ගා අලුත් ලිප් බැඳ වත්ත එළි පෙහෙළි කර පේ වෙන්නා වූ ගම් වැසියන්ට සමගාමිව ගෙදර තිබෙන්නා වූ අටුකොටුද අලුතින් ධාන්‍යය පිරවී සෞභාග්‍ය වී තිබුණි.
සියලු ණය හිඟකම් පියවා අලුතින් ආර්ථිකයට ගිනුමක් ආරම්භ කරන මව විසින් කැවුම් කිරිබත් පිරි මේසයක් හැකි පමණින් හැඩගන්වනු ලබයි. අලුත් ඇදුම් යනු අවුරුද්දේ පොඩි දරුවන්ට ලැබෙන ලොකුම ප්‍රතිලාභය වන අතර කැට පංච දැමීම, ගුඩු පැනීම වැනි කෙළි සෙල්ලම් සියලු තරුණයින් මෙන්ම අනෙකුන්ද එක සහෝදරත්වයකට මග සලසන්නට ඇත. අවුරුදු උළෙලට වන සියල්ලෝම දිනුම් පැරදුම් හමුවේ සංහිදියාව ගොඩනඟා ගනී.
නමුත් අද අපට එවන් අවුරුද්දක් දකින්නට නොහැකි වී තිබේ. සමාගම් වලට තම නිෂ්පාදනයන් අලෙවි කිරීමට සේල් සමයක් බවට අප්‍රේල් මාසය පත්ව ඇත. දැන් ඉබේ අටුකොටු පිරෙන්නේ නැත. යල කන්නය අවසන් වන විට සහල් ගෙට එන්නේද නැත. සහල් ගබඩා පිරෙනතුරු බලා සිටින ජනතාව අප්‍රේල් මුල සතියේ අටුකොටු පුරවන්නට ආසන්න නගර වලට පිරෙනු ඇත. වසර පුරාම දිවෙන්නා වූ එකම වැඩමුරය අවසන් වන්නේ දින දෙහෙකට හෝ සතියකට පමණි. ඒ නැකතට කෑම සදහා ජනතාව සංස්කෘතියක් ගොඩනගාගෙන ඇති නිසාත් එයට ඇගිලි ගැසීමට තවම අවස්ථාව උදා වී නැති නිසාමය. එහෙත් කෙසේ හෝ වැඩකරන ජනතාවගේ ශ්‍රමය සූරන් කෑමට හැකි අවසන් දිනය දක්වාම සියලු ධනපතීන් ක්‍රියාශීලී වෙයි. අවුරුද්දට දින කිහිපයකට ගෙදර දකින්න පුළුවන් මිනිසුන් නැවත වැඩට දුවන්නේ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන දිනය සමාගම් වල ලාභය වෙනුවෙන් නියම වෙන නිසාය.
අලුතින් ගොයම් කැපූ වෙල් දෙනි වල කබඩි ගසන්නට තියා පවුලේ සියලන්ටද එකට එකතු වන්නට තියෙන්නේ ආහාර අනුභවයේදී පමණි. පවුලේ සියලු දෙනා එකට එකතු වී කෑම වේලක් කන එකද අද වන විට ගෘහයට ආගන්තුකයක් වී ඇත. පවුලේ හිතවතුන්, ඥාතීන් බලන්නට යන්නේ මින් පසුවය. එහෙත් සියලු හිතමිතුරන් එකට එකතු වී මදු විතක් තොලගානව ඇරෙන්නට ඔවුන්ට කරන්නට දෙයක් නැත. එසේ යනවිට ගෙන යන්නට අවශ්‍ය "තෑගි දෙන සාස්තරේද" දැන් අපි දනිමු. ඒ රූපවාහිණී වෙළඳ දැන්වීම් වල පිහිටෙන්ය. නගරයට යන්නේ ගෙන ඒමට අවශ්‍ය සියල්ල තීරණය කරගෙනය. එය තීරණය වන්නේ අපේ වුවමනාවන්ට නොව සමාගම් වල වුවමනාවන්ටය. අවුරුද්දට ගිනි මොලවන්නට ගිනිපෙට්ටිය කුමක් ගතයුතුද යන්න පවා අප දනිමු. කුමන ඇදුම් අවුරුද්දට අදින්නේද? සෙරෙප්පු, ඔරලෝසු, බෑග් එකේ සිට සියල්ල අපේ ඔලුවේ සන්නම් නාමය සමග සටන් කිරීමට කොහෝ හා රබන් සුරල් පසුබිමින් ඇසෙන වෙළඳ දැන්වීම් වලට හැකි වී ඇත.
සියලු ණය පියවා දමා අලුත් ගිණුමක් ආරම්භ කරන ගෘහනියන් නගරයට එනතුරු තවත් සමාගම් ගණනාවක් මඟ බලමින් සිටී. ඒ ගෙවීමේ ක්‍රමයට වට්ටම් ලබා දීමටය. ණය පියවූ අවුරුද්ද මේ වන විය ණය වීමේ අවුරුද්දක් වී ඇත. සියලු දෙනා එකට එක්ව සංවිධානය කළ අවුරුදු උත්සව දැන් එසේ සංවිධානය නොවෙයි. ඒ සඳහා දැන් මහන්සි විය යුතු නොවේ. සමාගම් ඒ සමාජ වගකීම භාරගෙන ඇත. ඒ වෙනකක් නිසා නොව තම වෙළද ප්‍රචාරණයන් සිදු කරගැනීමට හා රජයට ගෙවන බදු මුදලින් ටිකක් ඉතුරු කරගැනීමටය. තරඟ ඉසව් පවත්වන්නේද සමාගම් වල වෙළද ප්‍රචාරන පුවරු,කොඩි,වේදිකා, මධ්‍යයේය. තරඟ වලට සහභාගි වන්නන් හා හැකි අය පමණක් ආවොත් ප්‍රමාණවත්ය. ඒ මාධ්‍ය වල පෙන්වීම සඳහාය. කාර්‍යබහුල මිනිසුන්ට අවුරුදු උත්සව ගැන වදවෙන්නට දෙයක් නැත. දැන් රූපවාහිණී ඔස්සේ නලු නිළියන් යොදා ගනිමින් අවුරුදු උළෙලවල් ඕනෑ තරම් සංවිධානය වනු ඇත. අපට ඒවාට සාලයේ පුටුවකට වී සම්බන්ධ විය හැක. නමුත් සංහිදියාවල් සහෝදරකම් මුකුත් නැත.
සිංහල මෙන්ම දෙමළ අලුත් අවුරුද්ද ද වන මෙය සියලු ජාතිකත්වයන්ගේ සංහිදියාවට අත්වැලක් වනු ඇත. ලංකාවේ ජාතික ගැටලුව වවාගෙන කන පාලකයන් සිටින රටක එවන් සංහිදියාවක් ඇතිවනවා විහිළුවකි. සියලු තරු රටා වලට තම අනාගතය භාරදී නක්ෂත්‍ර කරුවන්ට රට උකසට තබන පාලකයන් සිටින රටක වටිනා ස් ංස්කෘතීන් වටා ඔඩු දුවා ඇති මිත්‍යාවන් නැති වන්නේ නැත. එවන් මිත්‍යාවන් ඉවත් කර අප විසින් සංකෘතිය මිනිසාගේ යහපත් අනාගතයක් වෙනුවෙන් පෙළගැස්විය යුතුය. 
හිසතෙල් ගෑමට ගන්නා බෙහෙත් වට්ටෝරු සැබැවින්ම විද්‍යාත්මක වන්නේය. එය සමාජයේ නීරෝගී බවට උපදෙසක් දුනි. එහෙත් අද වන විට සමාගම් තම තෙල් වර්ග, රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවිය සිදු කරගැනීමට මෙවන් නැකත් යොදාගෙන ඇත. බැංකු විසින් ගනුදෙනු කිරීමට අවස්ථා සලසා දී ඇත. ඒ සඳහා අවුරුදු තෑගිද හිමි වනු ඇත. ඉස්සරමෙන් කැවුම් කොකිස් හැදිය යුතු නොවේ. ඒ ඒවාට වෙනම වෙලඳපොලක් නිර්මාණය වී ඇති නිසාය.
මිනිසුන් පිට දැවැන්ත බදු බරක් පටවා ඇති ආණ්ඩු සෑම විටම මිනිසුන් යහපත් සමාජයක යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳින බව පවසයි. නගර වල දී, කඩපිල් වලදී ගනු ලබන හඬපට වලින් ආණ්වුවට පක්ෂ හඩපට පමණක් විකාශනය කරයි. මිනිසුන් සිතනුයේ සියල්ලන්ට අවුරුදු ජයයි තමන්ට පමණක් අවුරුදු අමාරු වී ඇති බවයි. එහෙත් සියල්ලන්ට අවුරුදු අමාරු වී ඇති බවක් කිසි විටෙකත් තේරුම් නොගැනීමට ජනතාව හැඩගැස්වීමට මාධ්‍ය කටයුතු කරයි.
රජගෙදරද අවුරුද්දට කිරි ඉතිරෙනු ඇත. එය සිදු වනුයේ දැඩි මාධ්‍ය ආවරණයක් යටතේය. රජගෙදර අවුරුදු මේසයනම් සරු බව නිතර පෙනෙන්නට ඇත. රජතුමා සහ රටේ පාලකයන් සිතනුයේ සියලු ගෙවල් වල කෑම මේස ඒ හා සමාන බවය. එහෙත් ජනතාවට සිදුව ඇත්තේ රජගෙදර අවුරුදු මේසය දිහා බලා හූල්ලන්නට පමණි.  
හුදකලා වූ ජීවිත සමජායට අවැසි බව වත්මන් සමාජක්‍රමය විසින් සෑම විටම මතක් කරදෙයි. ඒවට අවශ්‍ය වටපිටාවද සකස් කරදෙයි. අවුරුදු උළෙලවල් පමණක් නොව මව් පිය සෙනෙහස, ආදරය, මෙන්ම සියලු මානව අයිතීන් මිල කිරීමේ මෙන්ම ලාභ උපරිම කිරීමට හැකි සමාගම් වල දිනයක් ලෙස අලුත් අවුරුද්ද පත්ව ඇත. පාලකයන්ට තවත් ඡන්ද ව්‍යාපාරයක් වන අවුරුද්ද මාධ්‍ය වලට ද අවුරුද්දක්ම වන්නේය.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ අධ්‍යාපන අනුකමිටුව විසින් සංවිධානය කරන "LIMIT නැති හංදිය" වැඩසටහන 2017.03.31 දින "අලුත් අවුරුද්ද කාගේද?" යන්නෙන් ගොඩනැඟූ සංවාදය ඇසුරිණි.

අධ්‍යාපන අනුකමිටුව.මහා ශිෂ්‍ය සංගමය.



Friday, December 16, 2016

"සයපෙති කුසුම" විකෘතියක්ද? යථාර්තයක්ද?

"සයපෙති කුසුම" විකෘතියක්ද? යථාර්තයක්ද?

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ අධ්‍යාපන අනුකමිටුව මඟින් සංවිධානය කළ "සයපෙති කුසුම" චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සංවාදය පිළිබඳව අදහසක් මෙසේ පලකරන අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සහ මහා ශිෂ්‍ය සංගමයේ ස්ථාවරය නොව සිනමා පටය පිළිබද අදහස පමණක් මෙසේ පලකරන්නෙමු.


ආදරය යන්නට අප විවිධ අර්ථකතනයන් හා පැහැදිලි කිරීම් කිරීමට අප නොයෙක් අවස්ථාවල උත්සහ දරා ඇත්තෙමු. ප්‍රජාතන්ත්‍රවාදයටද එය එසේම වන්නේය.
මගේ කාර් එකනම්, මගේ පෙට්‍රල්නම් කාටවත් මොකෝ කියන්නැහේ කතාවක් විසාකේස චන්ද්රසේකරම් තිර පිටපතකට අකුරු කර රූප නගා රිදී තිරයටද විකෘත්තියක් එක් කිරීමට සමත් වී ඇත. සමලිංගික ප්‍රේමයක්? නුපුරුදු කතාවක් හා පිරිමින් ගැනම පිලිකුළක් ඇති කිරීමට විසාගේ උත්සහය ආරම්භයේ සිටම සමත් වූවායැයි හැගෙන්නට මහත් පරිශ්‍රමයක් ගත යුතු නොවන්නේය. නමුත් විසාට තම උත්සහය ඵල ගැන්වීමට මහත් පරිශ්‍රමයක් ගත යුතු වනවා නොඅනුමානය. ඒ තවමත් ලාංකීය සමාජය සිංහල බෞද්ධ සංස්කෘතියක පසුගාමීකම් ගොඩනගමින් හා ආරක්ෂාකාරීව පවත්වාගනිමින් ඉදිරි පරම්පරාවන්ටත් පවරා දෙමින් සිටින නිසාවෙනි.
පෙම්වතියකට ආදරය කරන පෙම්වතෙක්, ඒ පෙම්වතියටම ආදරේ කරන තව පෙම්වතෙක්, කලින් පෙම්වතියට ආදරේ කරන පළමු පෙම්වතා. චිත්‍රපටය එහෙම රසවින්දනම් මේක කොලු සීන් එකක් වෙන්නෙ නෑ. හැබැයි අපි චිත්‍රපටිය බලන විදිහ කොහොමද කියලත් කතා කරමු.  ඇත්තටම එය සුන්දර කතාවක් වනු ඇතැයි සිතෙන්නට පුළුවන්. හැබැයි හිතන්න කොල්ලෙක් ආදරේ කරන කෙල්ලෙක්, ඒ කෙල්ලට ආදරේ කරන තව කොල්ලෙක්, ඒ කොල්ලට ආදරේ කරන අනික් කොල්ලා. දැන් පොඩ්ඩක් කතාව නීරස වේගෙන වගේම නුහුරු වීගෙන ප්‍රදර්ශනයට ප්‍රවේශයක් ගන්නවා. තව ටිකක් බලද්දි කතාවෙ චරිත හම්බෙනවා ඒ අයගෙ නමත් එක්කම. චමත්,නලීන්,සරසි. ඉස්සිට(සරසි) ආදරේ කරන චමත් සහ නලීන් නලීන්ට ආදරේ කරන ඉස්සි සහ චමත්, චමත්ට ආදරේ කරන නලීන් සහ ඉස්සි. පට්ට පටලැවිල්ලක් එක්ක විසා කතාව ඉස්සරහට අරන් යන්නෙ බහු ලිංගික ප්‍රවේශයක් එක්ක. 
මිනිස්සු සහ ගැහැණු කියන දේ තීරණය වෙන්නෙ බාහිර අවයව වලින් සහ හැගීම් වලින්. අපි ආදරයේදී තෝරගන්නෙ හැගීම් සමග ඇතිකරගන්න හැගීමක් විදිහට. ඒකට ලිංගිකත්වය කියන කාරණාවෙදි ශරීරය කියන සාධකයත් එකතු වෙනවා. එතකොට කොල්ලෙක්ව ආදරේ කරන්න කෙල්ලෙක්ම ඉන්න ඕනිද?
ඉස්සිට බස්සා(චමත්) ආදරේ කරනව. නමුත් චමත්ගෙ මනසෙ ගැහැණු ප්‍රතිබිම්බයක් සක්මන් කරනවා. "පිරිමි කිව්ටෙක්ස් ගාන්නෙ නෑ" කියල ඉස්සි කියද්දිත් බස්සට ඇගිලි පාට කරගන්න ආස හිතෙනවා. තව චමත් තමන්ගෙ කාමරේ ගැහැණු රූපයක් තියාගෙන ඉන්නව වගේම ඒ ශරීරය තමන්ට අහිමි වීම ගැන කණගාටු වෙනවා. ඒ චමත්ගෙ හිතේ ගැහැණු මනසක් තියෙන හින්ද. ආදරේ ආධ්‍යාත්මය තුළ නිර්මාණය වන්නක්නම් චමත්ගේ ආදරයට සුදුස්සෙක් වියයුත්තේ කෙල්ලෙක්ද? එහෙමත් නැත්තන් කොල්ලෙක්ද? කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න වෙන්නෙ දැන් තමයි. 
සමලිංගිකත්ව ලාංකීය සමාජය (සංස්කෘතිය) තුළ තවමත් ප්‍රතික්ෂේප වන්නක්. ලිංගිකත්වය ස්වභාවයෙන් උරුම වන්නක් වගේම ඒ වටා සංස්කෘතියක් ගොඩනැගෙනව. ඒ සංස්කෘතිය ඇතුලෙ තමයි ලිංගිකත්වයට අදාල සීමා මායිම් ගොඩනැඟෙන්නෙ. ලිංගිකත්වය සමලිංගික, බහුලිංගික සහ සංක්‍රාන්ති ලිංගික කියලා මූලික කොටස් තුනකට බෙදන්න පුළුවන්. නැවත වතාවක් සම ලිංගිකත්වය ගැහැණු ගැහැණු සහ පිරිමි පිරිමි ලෙසත් වෙනස් වෙනවා. ඒක ස්වභාවික දෙයක්. ඒ කියන්නෙ ලිංගිකත්වය තීරණය වෙන්නෙ ඒ ඒ පුද්ගලයගෙ තියෙන මනෝභාවයත් එක්ක වගේම තමන්ගෙ තෝරා ගැනීමට සහ ඒ වෙනුවෙන් පිළිගැනීමකට ඕනෑම පුද්ගලයෙකුට පිළිගැනීමක් තියෙන්න ඕනි.
නලීන් සමන්‍ය බහු ලිංගීක තරුණයෙක්. චමත් කිව්ටෙක්ස් මකද්දි වගේ අවස්ථාවල නලීන් චමත්ගෙ මනෝභාවයන් තේරුම් ගන්නව. ඒ කියන්නෙ චමත් භෞතිකව පිරිමියෙක් වුනාට ආධ්‍යාත්මය ගැහැණියෙක් කියල. නලීන් චමත්ට ආදරේ කරන්නෙ අන්න ඒ ආධ්‍යාත්මයත් එක්ක.  තමන්ගෙ මනසෙ ඉන්න ස්ත්‍රී ලිංගිකයට ආදරේ පිළිබද හැගීම ගලපගන්න වෙන්නෙ පුරුෂලිංගිකයෙක් එක්ක. ඒ හින්ද තමයි චමත් සහ නලීන් ආදරය කරන්නෙ. ඇත්තටම ආධ්‍යාත්මයන් එක්ක බැලුවහම එතන කිසි අප්සට් එකක් නැත්තෙ ඒකයි. චමත් කියන කෙල්ලට ආදරේ කරන නලීන්. ඒක හරිම සාමන්‍ය දෙයක්.
හැබැයි, ලංකාවෙ සහ බහුතරයක් රටවල පිළිගැනීම තියෙන්නෙ සහ සංස්කෘතිය ඇතුළෙ නිදහස තියෙන්නෙ විරුද්ධ ලිංගිකයන්ට විතරයි. ඒක සමාජයේ පොදු සංස්කෘතියට කා වද්දල අනික් සියලු බැදීම් ඇත්තවුන්ගේ ආදරය කිරීමේ නිදහස අහිමි කරල තියෙනව. සංස්කෘතිය බිඳගෙන යන්නෙක්ට පුළුවන් වෙනව තමන්ගෙ ආදරය කිරීමේ නිදහස වෙනුවෙන් සහ අයිතිය වෙනුවෙන් අරගල කරන්න. ඒ වගේම් ඔහුට හෝ ඇයට සිද්ද වෙනව මහ සමාජයේ සියලු ගැරහීම් සහ විවේචන විදදරා ගන්න. චමත්ගෙ හැසිරීම සමාජෙයෙන් ඔහුව කොන් කරන්න හේතුව වගේම චමත්ගෙ අයියාගේ බැනුම් ගැරහීම් සහ පන්සලේ හාමුදුරුවො චමතට ගමෙන් ඉවත්ව යන ලෙස පැවසීමටත් හේතුව සංස්කෘතිය තුළ නඩත්තු වෙන ගැහැණු පිරිමි බැදියාව පමණක් පිළිගැනීමයි. චමත් මනමාලියක් විදිහට අදිනකොට අම්මලා හිතන්නෙ අමනුෂ්‍ය දෝශයක් කියලා. මොනව වුනත් තවමත් ලාංකීය ජන සමාජය ඇතුලෙ මිත්‍යාව තදින්ම කා වැදිලා තියෙන්න බවනම් සත්‍යක්. අම්මා අන්තිමට තීරණය කරනව චමත්ගේ ආදරය සහ මනෝභාවයන්ට නිදහස ලබාදෙන්න. ඒ අභියෝගය සමාජයම එපා කියද්දි අම්ම භාරගත්ත වගේ අපි හැමෝටම වෙනවා ඒ සත්‍ය සහ යථාර්ථය පිළිගන්න.

- අධ්‍යාපන අනුකමිටුව-
- මහා ශිෂ්‍ය සංගමය - 
- ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය-