Friday, December 16, 2016

"සයපෙති කුසුම" විකෘතියක්ද? යථාර්තයක්ද?

"සයපෙති කුසුම" විකෘතියක්ද? යථාර්තයක්ද?

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ අධ්‍යාපන අනුකමිටුව මඟින් සංවිධානය කළ "සයපෙති කුසුම" චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සංවාදය පිළිබඳව අදහසක් මෙසේ පලකරන අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සහ මහා ශිෂ්‍ය සංගමයේ ස්ථාවරය නොව සිනමා පටය පිළිබද අදහස පමණක් මෙසේ පලකරන්නෙමු.


ආදරය යන්නට අප විවිධ අර්ථකතනයන් හා පැහැදිලි කිරීම් කිරීමට අප නොයෙක් අවස්ථාවල උත්සහ දරා ඇත්තෙමු. ප්‍රජාතන්ත්‍රවාදයටද එය එසේම වන්නේය.
මගේ කාර් එකනම්, මගේ පෙට්‍රල්නම් කාටවත් මොකෝ කියන්නැහේ කතාවක් විසාකේස චන්ද්රසේකරම් තිර පිටපතකට අකුරු කර රූප නගා රිදී තිරයටද විකෘත්තියක් එක් කිරීමට සමත් වී ඇත. සමලිංගික ප්‍රේමයක්? නුපුරුදු කතාවක් හා පිරිමින් ගැනම පිලිකුළක් ඇති කිරීමට විසාගේ උත්සහය ආරම්භයේ සිටම සමත් වූවායැයි හැගෙන්නට මහත් පරිශ්‍රමයක් ගත යුතු නොවන්නේය. නමුත් විසාට තම උත්සහය ඵල ගැන්වීමට මහත් පරිශ්‍රමයක් ගත යුතු වනවා නොඅනුමානය. ඒ තවමත් ලාංකීය සමාජය සිංහල බෞද්ධ සංස්කෘතියක පසුගාමීකම් ගොඩනගමින් හා ආරක්ෂාකාරීව පවත්වාගනිමින් ඉදිරි පරම්පරාවන්ටත් පවරා දෙමින් සිටින නිසාවෙනි.
පෙම්වතියකට ආදරය කරන පෙම්වතෙක්, ඒ පෙම්වතියටම ආදරේ කරන තව පෙම්වතෙක්, කලින් පෙම්වතියට ආදරේ කරන පළමු පෙම්වතා. චිත්‍රපටය එහෙම රසවින්දනම් මේක කොලු සීන් එකක් වෙන්නෙ නෑ. හැබැයි අපි චිත්‍රපටිය බලන විදිහ කොහොමද කියලත් කතා කරමු.  ඇත්තටම එය සුන්දර කතාවක් වනු ඇතැයි සිතෙන්නට පුළුවන්. හැබැයි හිතන්න කොල්ලෙක් ආදරේ කරන කෙල්ලෙක්, ඒ කෙල්ලට ආදරේ කරන තව කොල්ලෙක්, ඒ කොල්ලට ආදරේ කරන අනික් කොල්ලා. දැන් පොඩ්ඩක් කතාව නීරස වේගෙන වගේම නුහුරු වීගෙන ප්‍රදර්ශනයට ප්‍රවේශයක් ගන්නවා. තව ටිකක් බලද්දි කතාවෙ චරිත හම්බෙනවා ඒ අයගෙ නමත් එක්කම. චමත්,නලීන්,සරසි. ඉස්සිට(සරසි) ආදරේ කරන චමත් සහ නලීන් නලීන්ට ආදරේ කරන ඉස්සි සහ චමත්, චමත්ට ආදරේ කරන නලීන් සහ ඉස්සි. පට්ට පටලැවිල්ලක් එක්ක විසා කතාව ඉස්සරහට අරන් යන්නෙ බහු ලිංගික ප්‍රවේශයක් එක්ක. 
මිනිස්සු සහ ගැහැණු කියන දේ තීරණය වෙන්නෙ බාහිර අවයව වලින් සහ හැගීම් වලින්. අපි ආදරයේදී තෝරගන්නෙ හැගීම් සමග ඇතිකරගන්න හැගීමක් විදිහට. ඒකට ලිංගිකත්වය කියන කාරණාවෙදි ශරීරය කියන සාධකයත් එකතු වෙනවා. එතකොට කොල්ලෙක්ව ආදරේ කරන්න කෙල්ලෙක්ම ඉන්න ඕනිද?
ඉස්සිට බස්සා(චමත්) ආදරේ කරනව. නමුත් චමත්ගෙ මනසෙ ගැහැණු ප්‍රතිබිම්බයක් සක්මන් කරනවා. "පිරිමි කිව්ටෙක්ස් ගාන්නෙ නෑ" කියල ඉස්සි කියද්දිත් බස්සට ඇගිලි පාට කරගන්න ආස හිතෙනවා. තව චමත් තමන්ගෙ කාමරේ ගැහැණු රූපයක් තියාගෙන ඉන්නව වගේම ඒ ශරීරය තමන්ට අහිමි වීම ගැන කණගාටු වෙනවා. ඒ චමත්ගෙ හිතේ ගැහැණු මනසක් තියෙන හින්ද. ආදරේ ආධ්‍යාත්මය තුළ නිර්මාණය වන්නක්නම් චමත්ගේ ආදරයට සුදුස්සෙක් වියයුත්තේ කෙල්ලෙක්ද? එහෙමත් නැත්තන් කොල්ලෙක්ද? කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න වෙන්නෙ දැන් තමයි. 
සමලිංගිකත්ව ලාංකීය සමාජය (සංස්කෘතිය) තුළ තවමත් ප්‍රතික්ෂේප වන්නක්. ලිංගිකත්වය ස්වභාවයෙන් උරුම වන්නක් වගේම ඒ වටා සංස්කෘතියක් ගොඩනැගෙනව. ඒ සංස්කෘතිය ඇතුලෙ තමයි ලිංගිකත්වයට අදාල සීමා මායිම් ගොඩනැඟෙන්නෙ. ලිංගිකත්වය සමලිංගික, බහුලිංගික සහ සංක්‍රාන්ති ලිංගික කියලා මූලික කොටස් තුනකට බෙදන්න පුළුවන්. නැවත වතාවක් සම ලිංගිකත්වය ගැහැණු ගැහැණු සහ පිරිමි පිරිමි ලෙසත් වෙනස් වෙනවා. ඒක ස්වභාවික දෙයක්. ඒ කියන්නෙ ලිංගිකත්වය තීරණය වෙන්නෙ ඒ ඒ පුද්ගලයගෙ තියෙන මනෝභාවයත් එක්ක වගේම තමන්ගෙ තෝරා ගැනීමට සහ ඒ වෙනුවෙන් පිළිගැනීමකට ඕනෑම පුද්ගලයෙකුට පිළිගැනීමක් තියෙන්න ඕනි.
නලීන් සමන්‍ය බහු ලිංගීක තරුණයෙක්. චමත් කිව්ටෙක්ස් මකද්දි වගේ අවස්ථාවල නලීන් චමත්ගෙ මනෝභාවයන් තේරුම් ගන්නව. ඒ කියන්නෙ චමත් භෞතිකව පිරිමියෙක් වුනාට ආධ්‍යාත්මය ගැහැණියෙක් කියල. නලීන් චමත්ට ආදරේ කරන්නෙ අන්න ඒ ආධ්‍යාත්මයත් එක්ක.  තමන්ගෙ මනසෙ ඉන්න ස්ත්‍රී ලිංගිකයට ආදරේ පිළිබද හැගීම ගලපගන්න වෙන්නෙ පුරුෂලිංගිකයෙක් එක්ක. ඒ හින්ද තමයි චමත් සහ නලීන් ආදරය කරන්නෙ. ඇත්තටම ආධ්‍යාත්මයන් එක්ක බැලුවහම එතන කිසි අප්සට් එකක් නැත්තෙ ඒකයි. චමත් කියන කෙල්ලට ආදරේ කරන නලීන්. ඒක හරිම සාමන්‍ය දෙයක්.
හැබැයි, ලංකාවෙ සහ බහුතරයක් රටවල පිළිගැනීම තියෙන්නෙ සහ සංස්කෘතිය ඇතුළෙ නිදහස තියෙන්නෙ විරුද්ධ ලිංගිකයන්ට විතරයි. ඒක සමාජයේ පොදු සංස්කෘතියට කා වද්දල අනික් සියලු බැදීම් ඇත්තවුන්ගේ ආදරය කිරීමේ නිදහස අහිමි කරල තියෙනව. සංස්කෘතිය බිඳගෙන යන්නෙක්ට පුළුවන් වෙනව තමන්ගෙ ආදරය කිරීමේ නිදහස වෙනුවෙන් සහ අයිතිය වෙනුවෙන් අරගල කරන්න. ඒ වගේම් ඔහුට හෝ ඇයට සිද්ද වෙනව මහ සමාජයේ සියලු ගැරහීම් සහ විවේචන විදදරා ගන්න. චමත්ගෙ හැසිරීම සමාජෙයෙන් ඔහුව කොන් කරන්න හේතුව වගේම චමත්ගෙ අයියාගේ බැනුම් ගැරහීම් සහ පන්සලේ හාමුදුරුවො චමතට ගමෙන් ඉවත්ව යන ලෙස පැවසීමටත් හේතුව සංස්කෘතිය තුළ නඩත්තු වෙන ගැහැණු පිරිමි බැදියාව පමණක් පිළිගැනීමයි. චමත් මනමාලියක් විදිහට අදිනකොට අම්මලා හිතන්නෙ අමනුෂ්‍ය දෝශයක් කියලා. මොනව වුනත් තවමත් ලාංකීය ජන සමාජය ඇතුලෙ මිත්‍යාව තදින්ම කා වැදිලා තියෙන්න බවනම් සත්‍යක්. අම්මා අන්තිමට තීරණය කරනව චමත්ගේ ආදරය සහ මනෝභාවයන්ට නිදහස ලබාදෙන්න. ඒ අභියෝගය සමාජයම එපා කියද්දි අම්ම භාරගත්ත වගේ අපි හැමෝටම වෙනවා ඒ සත්‍ය සහ යථාර්ථය පිළිගන්න.

- අධ්‍යාපන අනුකමිටුව-
- මහා ශිෂ්‍ය සංගමය - 
- ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය-

Saturday, November 26, 2016

සයපෙති කුසුම චිත්‍රපටය ප්‍රදර්ශණය

සයපෙති කුසුම චිත්‍රපටය ප්‍රදර්ශණය සහ විචාරය 2016.12.05 වන දින සවස 6.30ට සමාජ විද්‍යා හා භාෂා පීඨ ශ්‍රවණාගාරයේදී...

සයපෙති කුසුම චිත්‍රපටයේ ප්‍රචාරක වීඩියෝව.

අධ්‍යාපන අනුකමුටුව
මහා ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

Thursday, November 17, 2016

දැනුමේ අයිතිය කාගෙද?.
ඔහු නමින් "රොබ් කෝල් "ය.පිය රැකවරනය අහිමි දුගී පවුලක වැඩිමහල් පිරිමි දරුවා වන ඔහු තම බාල සොහොයුරන්  සමග තවදුරටත් අසරණ වන්නේ  ඔහුගේ මව හදිස්සියේ ඇති  වූ අතුරු ආබාධයකින් මියයාම නිසාය.ඉන් පසු තම බාල සහෝදරයන් දෙදෙනා නිවසේ බඩු බාහිර ආදියද සමග  පුද්ගලයෙකු විසින් කැදවාගෙන යන අතර රොබ් කෝල්ට  එහි යාමට නොහැකි වන්නේ ඔහු තරමක් වඩිමහල් කොලු ගැටයෙක් වීම නිසා.එසේ තවදුරටත් තනි වන ඔහු රැකවරනය පතා යන්නේ බාබර් කෙනෙකු (එවකට එංගලක්තයේ සිටි වෛද්යයවරයෙක්) වෙත.එහිදී ඔහු රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් දැඩි කමැත්තකින් හා වෛද්ය විද්යාව පිලිබදව  කුතුහලයෙකින් යුතුව එහිදී කටයුතු කරයි.නමුත් තව දුරටත් එංගලන්තයේ තිබූ නොදියුනු  වෛද්ය දැනුම  ඔහුට ප්රමාණවත් වන්නේ නැත.ඒනිසාම ලෝකයේ අනෙක් කෙළවරේ ඇති පර්සියාවට යාමට ඔහු දැඩි තීරණයක් ගනු ලබයි.එය එතරම් සුමට වූ ගමනක් නොවේ.දිගු කාලයක් තිස්සේ බරපතල ජීවිත අවධානමක් සහිත ගමන ඔහු අවසන් කරන්නේ කෙසේ හෝ ඔහුගේ ඉලක්කය සම්පුර්ණ කරගෙනය.එවකට ප්ර්සියාව  තුළ තිබුනේ දැඩි ආගමික මතධාරින් විසින් ජනතාවගෙ මතවාදයන් හසුරවමින් තිබුනු වටපිටාවකි.ඒ නිසාම මිත්යාවට එරෙහිව විද්යාව  ඉගැන්වූ ඉබන්සිනා ප්රධානතුමාගේ  විශ්වවිද්යාලට එරහිව පල්ලියෙන් දැඩි විරෝධයක් ගොඩනංවමින් තිබුනි. කෙසේ වුවත් රොබ් කෝල් ඔහුගෙ උත්සහය අතහැරියේ  නැත.සියලු බලපෑම් හමවේ එවකට වෛද්ය විද්යාවේ සීමා අතික්රමනය  කරන ඔහු රුධිර සංසරණ පද්ධතිය පිලිබද නව සොයා ගැනීමක් සිදු කරන ලදී.
 මේ The physician චිත්රපටයේ සරල අදහසයි.නමුත් එම සරල අදහසට එහා ගිය දැනුමේ අයිතිය පිලිබද  පුලුල් සාකච්චාවක් වර්ථමාන සමාජයේ වට්පිටාවත් සමග මෙම චිත්‍රපටය හරහා  අප හට  ගොඩනගා ගත හැකිය.ප්‍රාග්ධනයෙ ආධිපත්‍ය යටතේ මෙහෙයවන  සමාජක්‍රමයක් තුළ සියලු දේ විකිණෙන්නේ  ඒවාට පෞද්ගලික අයිතියක් ආරූඩ කරගනිමිනි.ගුරුවරයා තම දැනුම ටියුෂන් පංතියෙදි මුදලට විකුණනේද,කලාකරුවා  කලාවට මිලක් නියම කරන්නේද, වෛද්‍යවරයා මුදලට රෝගීන් හට බෙහෙත් ලබාදෙන්නේද  ඔවුන් සතු දැනුමේ සමාජීය අයිතිය අමතක කර දමමිනි.නමුත් පවතින ක්‍රමය විසින් මෙම කාරණය අමතක කර ලාබය වෙනුවෙන් කටයුතු කිරීමට මේ සියලු ක්ෂේත්‍රයන්ට බල කරන  බවත් අප අමතක නොකල යුතුය.අධ්‍යාපනය යනු ඉතිහාසය පුරාවට එකතු කරගත් දැනුම අනාගතයට සම්ප්‍රේශනය කිරීමයි.එබැවින් කෙනෙකු එය තම පුද්ගලික දේපලක් යැයි සිතා පටු උවමානවන් වෙනුවෙන් යොදා ගැනීම කිසිවිටකත් අනුමත කල නොහැක.අධ්‍යාපනය අයිතියක් විකිනීමට නොවේ යනුවෙන්  නිදහස් අධ්‍යාපනය දිනාගැනීමේ අරගලයෙදි ශිෂ්‍ය ව්‍යාපාරය  මූලික සටන් පාඨයක් නියෝජනය කරයි.අප එය එසේ කියන්නේ  දැනුමේ අයිතිය සමාජීයයි යන පදනමේ සිටය.එබැවින් මාලබේ සයිටම් උපාධිකඩ හරහා සිදුකරනුයේ The physician  චිත්රපටයෙහි රොබ් කෝල් වැනි සුවහසක් මිනිසුන්  ජීවිත පවා කැපකර ගොඩනැගූ දැනුම  තනි සුඛවිහරනය වෙනුවෙන් යොදා ගැනීමයි.

නව ලිබරල් ආර්ථික ක්‍රමය තුළ සමාජීය අයිතීන් ජනතාවගෙන් අනුකම්පා විරහිතව උදුරාගෙන ඇත.එබැවින්  දැනුමේ අයිතිය නැවතත් පොදු සමාජය වෙත අත්පත් කර ගැනීම අනිවාර්‍ය කාරනයකි.ඒසදහා සාමූහික අරගලයක් අප ඉදිරියේ ඇත.

Friday, October 28, 2016

සැබෑ ප්‍රේමවන්තයින් සමාජයට අවැසිව ඇත.

සැබෑ ප්‍රේමවන්තයින් සමාජයට අවැසිව ඇත.


ප්‍රේමය නම් රාගයෙන් තොර 
සඳ එළිය සේ අචින්ත්‍යයි 
පාරිශුද්ධයි, සුර්ම්‍යයයි

ප්‍රේමය යන්න සුර්ම්‍ය සහ පිවිතුරු බවට පත් වන්නට නම් එහි රාගය යන්න නිශේධ වියයුතු බව නන්දා මලිනී ගායනා කරන එම ගීතයෙන් කියවේ. ආදරය යන්නට සමාජය තුළ යම්කිසි සීමාන්තික ඉඩක් ලැබී තිබේ. නමුත් රාගයෙන් තොර වීම තුළ ප්‍රේමය පිවිතුරු වුවද ප්‍රේමය යන්නෙහි නියම අරුත එයට හිමි වේද යන්න ගැටළුවකි.
ආදරය, ප්‍රේමය, සෙනෙහස, කැමැත්ත, ලෙන්ගතුකම වැනි වචන සියල්ලම පාහේ සමාජයේ එකම කතාබහකට අයත් වන වචන මෙන්ම එක් සංස්කෘතික සීමවකට යටත් කර ඇති වචන වේ. ඉන් ආදරය හා හා ප්‍රේමය යන්නෙහි කිසිම වෙනසක් නැතැයි බොහෝ දෙනෙකුගේ අදහස වී  ඇත. නමුත් ආදරය හා ප්‍රේමය යන්න සැබැවින්ම අදහස් වෙනස් වන්නා වූ වචනය.ආදරය ප්‍රේමයෙන් වෙනස් වන්නේද යන පැනයට පිළිතුර "ඔව්" වන්නේ කෙසේදැයි යම් විටෙක සමාජීය භාවිතය පමණක් ඇත්තෙකුට සිතෙනු ඇත. අප ආදරය කරන්නට සැබැවින්ම විරුද්ධ ලිංගිකයෙකුම සොයන්නේ මන්ද? අප විටෙක මව, පියාට, සහෝදර, සහෝදරියන්ට, නෑදෑ හිත මිත්‍රාදීන්ට ආදරය කරන්නෙමු. ගහ කොළට, ස්වභාව ධර්මයාට, සතා සීපාවට ආදරය කරන්නෙමු. විටෙක අප පාසලට ආදරය කරන්නෙමු. විටෙක අපි සරසවියට ආදරය කරන්නෙමු, සරසවි ප්‍රේමයට ආදරය කරන්නෙමු. මෙලෙස අපි බොහෝ ජීවි අජීවි දෑට ආදරය කරන්නෙමු. 
එහෙත් අප ප්‍රේම කරනුයේ විරුද්ධ ලිංගිකයෙකුටය. එසේත් නොමැතිනම් ආදරය කිරීමට සහ අදාලව පරස්පරය වන්නේ ලිංගිකත්වයයි. එනම් ප්‍රේමය යන්න ලිංගිකත්වයෙන් තොර විටෙක එය පරම පාරිශුධ්ද පිවිතුරු ප්‍රේමයක් වන්නේය යන්න උභතෝකෝටිකයකකි. එහෙත් අපි අදටත් එසේම කියයි. එයට හේතුව වී ඇත්තේ සංස්කෘතියයි. පිටත සමාජයේ සංස්කෘතිය ගොඩනැගෙනුයේ ආගම, ජාතිය, කුලය, දුප්පත්, පොහොසත් වැනි සාධක මුල් කරගෙනය. ආගම සංස්කෘතිය බිහිවීම කෙරෙහි බොහෝ දායකත්වයක් සපයයි. එසේනම් ප්‍රේමය රාගයෙන් තොර වූ විටෙක එය සඳ එළිය සේ අචින්ත්‍ය වන්නේ ආගම මුල් කරගත් සංස්කෘතිය නිසාම මිසක ප්‍රේමය සැබැවින්ම එසේ වන නිසා නොවේ.එහෙත් අපි ආදරය (ප්‍රේම) කරන්නෙමු. ඒ සඳහා ප්‍රේම දඩයමේද යන්නෙමු. කෙසේ හෝ ලිංගිකත්වයද එයට මුසුකරගෙන සැබෑ ආදරයක පහස සොයන්නට බොහෝ පෙම්වතුන් උත්සහ ගනිති.

"ආදරය සම්බන්ධයෙන් සමාජයේ කෙසේ නිර්වචණ බිහිවුණද සැබෑ ලෙසම "ආදරය යන්න විරුද්ධ ලිංගිකයන් සමඟ ඇතිවන ලිංගිකත්වය හා බැඳුණු ආධ්‍යාත්මික බැඳීමකි." සමාජ පරිණාමනයේ මූලිකාරම්භයේ පටන් මෙසේ ආදරය යන්න මානව අවශ්‍යතාවක් වන්නට ඇත. මානව සමාජයේ මූලික අවධියේදී එක්ව දඩයමේ යෙදුණු මානවයා ආයුධ අත්පත් කරගත් දා සිට පෞද්ගලික දේපල හිමිකාරීත්වයට උරුමකම් කී අතර මෙය තමාගෙන් පසුව භාර දීමට අනාගත පරම්පරාවක අවශ්‍යතාවයක් ඇතිවිය. එහෙයින් තමන්ට හිමිකම් කියන පවුලක් නිර්මාණය කරගත් යුතු විය. පසුව ඉපදෙන දරුවා පෝෂණය කිරීමට හා රැක ගැනීමට සිදු වූ අතර ඉන් දරුවාව රැක ගැනීමට ගැහැණියට සිදු වූ අතර පිරිමියාට දරුවාව පෝෂණය කිරීමේ වගකීම පැවැරිණි. මෙසේ දඩයමේ යන සැමියා වෙනුවෙන් විශ්වාසය ඇති වීමටනම් ගැහැණිය තුළද පිරිමියා කෙරෙහි වූ ඇල්මක් ආදරයක් ඇති විය යුතු වේ.
ආදරය යන්න ලිංගිකත්වය පදනම් කරගෙන ඇතිවූවක් මිසක ලිංගිකත්වය ආදරයේ එක් අතුරුඵලයක් ලෙස බිහී වූවක් නොවන්නේය. ආදරයේ පදනම වන්නේ ලිංගිකත්වයයි.
එහෙත් වර්ථමාන සමාජය තුළ ආදරය යන්න කෙසේ නිර්වචණය කළ යුතුදැයි නොවැටහේ. ලහිපිට, ඉටුපිට, මංගල කිංකිණි වැනි පුවත්පත් වලටනම් ආදරය යනු කෙසේ හෝ හිමි දේපල වත්කම් හෝ ආධ්‍යාපන මට්ටම ගලපවා ගැනීමයි. දුරකථන ජාල සමාගම් වලට අනුවනම් ආදරය කිරීමට නම් පෙම්වතිය සමඟ හැකි තරම් මල් කැඩිය යුතුය. සමාජ ජාල වලට ආදරය යනු සයිබර් බැඳීමකි. රූපවාහිනී, ගුවන්විදුලි වැඩසටහ් වලටනම් ආදරය ප්‍රකාශ කළ යුත්තේ ගීත ඉල්ලීම් හරහාය. මෙගා නාට්‍ය හා චිත්‍රපටි වල නම් සැබෑ ආදර වන්තයින් වන්නේ කෙසේ හෝ දුප්පත් කෙල්ල හෝ කොල්ලා පොහොසත් කෙල්ල හෝ කොල්ලාව දුශ්ඨයින්ගෙන් බේරා ගැනීමකි. ආදරවන්තයින්ගේ දිනය තිබෙන්නේ චොක්ලට් අලෙවි කරගැනීමටය. තම ආදරවන්තයින් ආදර කිරීම සම්බන්ධයෙන් සෑම විටකම උභතෝකෝටිකයක හිර වී ඇත. එසේ නොවුණහොත් ගැටළු මතු වේ. නැතහොත් ආදරය දෙදරා යයි.
සැබැවින්ම එය එසේ වියයුතුමය. ධනවාදී ආර්ථිකයක් තුළ ලාභය ප්‍රධාන අරමුණක් වීමත් සමඟ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි අයිතීන් පමණක් නොව ආදරය, මනුස්සකම, පරිත්‍යාගය යන්නටද හැඩයක් හා මිලක් නියම වේ. එහිදී විවාහය යනු දේපල වල ගැලපීමක් යන්න අරුමයක් නොවන්නේය. ජාතිය, ආගම, කුලය ගැලපීම විවාහයක් ලෙස අර්ථගන්වනවා නොඅනුමානය.
ආදරය පිළිබඳව සාකච්ඡා කරන ඕනෑම විටෙක සරසවි ප්‍රේමයට විශේෂ තැනක් හිමි වේ. ඒ පිටත සමාජය තුළ දැකගත හැකි ආදර සබඳතා වලට එහා ගිය රමණීය ආදර සබඳතා වලට සරසවි භූමිය හිමිකම් කියන නිසාවෙණි.
සරසවි ප්‍රේමය පිටත සමාජයේ දී අත්විඳින ප්‍රේමයකට එහා ගිය අරුතක් එක් කිරීමට සමත් වන්නට කරුණු බොහොමයක් බලපා ඇත. එයට බොහෝ විට සරසවි උප සංස්කෘතය හේතු වෙයි. මන්ද පිටත සමාජයේ ඇති අන්තගාමී, ආගම්වාදී, දුප්පත් පොහොසත් භේද වලින් තොරව මනුසත්කම, සමානත්වය, සහෝදරකම වැනි අගනාකම් වලින් ජනිත වූ උපසංස්කෘතියක් සරසවි වලට උරුම වී ඇති නිසාවෙනි. සරසවි උපසංස්කෘතිය තුළ ආදර සබඳතා වලට සුවිශේෂී ස්ථානයක් හා වටිනාකමක් හිමි වේ. ආදරයට වෙන් වූ ස්ථාන නිර්මාණය කර තිබීම, මල් බකට් වැනි සංස්කෘතික අංග නිසාවෙන් මෙන්ම ආදරය කිරීමට ඇති නිදහසත් සරසවිය තුළ පිටත සමාජයට වඩා ඉහළ මට්ටමකින් පවතී.
සරසවිය තුළ සියල්ලන්ම සමාන මට්ටමකින් සලකන අතර ආදරය කිරීමට දේපල ගැලපීමක්, ආගම්, ජාති, වයස් ගැළපීමක් සිදු නොවේ. ආදර කිරීමම පමණක් සරසවි ප්‍රේමය තුළ ගලපණු ලබයි. සරසවියට පිවිසුණ දා පටන් හිරකර තිබූ සංස්කෘතික බැඳීම් වලින් ලිහිල් වීමට වසර හතරක් හිමිවන අතර ලිංගිකත්වය හා බැඳුණු ආදර සබඳතාවයකට සරසවිය තුළ අවකාශය නිර්මාණය වී ඇත.
තවද සරසවි ප්‍රේමය පිළිබඳව කතා කරන විට සිහි ගැන්වෙන තවත් දෑ අතුරින් පේරාදෙණියේ හන්තාන අමතක කළ නොහැක්කේමැයි. එසේම සබරගමුවේ ආදර කන්දට එම නම හිමි වී ඇත්තේද සරසවි ප්‍රේමවන්තයින්ට සුවිශේෂී මතකයන් හා ජනිතයන් බිහිකල නිසාවෙන්මය. සරසවි උපසංස්කෘතිය හා සරසවි ප්‍රේමය පිළිබඳව සැලකීමේ දී සරසවි උපසංස්කෘතිය තුළ ඇති කොකු වර්ග පහද මතක් කළ යුතුය. සරසවි සංස්කෘතිය යනු පිටත සමාජයෙන් වෙන් වූ හා ඊට වඩා දියුණු සංස්කෘතියකැයි අප විස්වාශ කරන්නෙමු. එහෙත් මෙවැනි පසුගාමී තත්වයන්ද සරසවි උපසංස්කෘතිය තුළ තවමත් නඩත්තු වෙමින් පවතී. 
උපසංස්කෘතියේ ආදර සබඳතා පිළිබඳව ඇති තවත් එක් කරුණක්නම් සරසවි තුළ ප්‍රේමවන්තයින්ට වෙන් වූ ස්ථානයන් තිබීමයි. මෙයට ඇතුළු වීමට නම් කොල්ලා සරසවියේ වීම අනිවාර්‍යයක් වෙයි. කොල්ලා සරසවියේ නම් පිට කොක්කක් සමඟ එහි යාමට හැක. නමුත් සරසවි කෙල්ලෙකුට තම පිට කොක්කත් සමඟ මෙම ප්‍රදේශයට යාම තහනම් වෙයි. මෙලෙස තවමත් සරසවි උපසංස්කෘතිය පුරුෂාධීපත්‍ය මූලික වූ සංස්කෘතීන්ගෙන්ද ගෙඩනෑඟී පැවතීම සංවාද කළයුතු කාරණාවකි. මෙවැනි සංකෘතීන් හමුවේ සරසවි ප්‍රේමයට වාරණයන් හිමි වන අතර සරසවි ප්‍රේමයේ ඇති සුන්දරත්වයන් අහිමි වේ.
කෙසේ වෙතත් වර්ථමානය වන විට සරසවි ප්‍රේමය පවතින්නේ කොතනද යන්නත් ගැටළු සහගතය. මන්ද පිටත සමාජයේ දී දකින දේපළ මත පදනම් වූ, රැවටීම, ලිංගිකත්වය වැනි කරුණු වලට පමණක්ම පදනම් වූ ප්‍රේම සබඳතාවලට එහා ගිය එකිනෙකා වටහා ගත් ආදර සබඳතා සොයා ගත හැකිද යන්නත් ගැටළුවක් වී ඇත. සංස්කෘතිය ගැනවත්, ආදරය සම්බන්ධයෙන්වත් නිවැරදි කියවීමක් ඔවුන් සතුවේද යන්නත් වටහා ගත නොහැකි වේ. 
ආදරය යන්න මනරම් කර ගැනීමට නම් ඒ පිළිබඳව නිවැරදි කියවීමක් ඇති පෙම්පතුන් අවැසි වනු ඇත. ඊට සරිලන සංස්කෘතියක ද අවශ්‍යතාවය ඇත. එවැනි ප්‍රබුද්ධ ජනතාවක් බිහි කිරීමත් ඊට ඉවහල් වන සංස්කෘතියක් බිහිකිරීමත් අවැසිව ඇත.
-අධ්‍යාපන අනුකමිටුව-
-මහා ශිෂ්‍ය සංගමය-
-ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය-