Saturday, May 26, 2018

අධ්‍යාපනයේ නිදහස විභාග අයිතිය අහිමිකරන 80%


අධ්‍යාපනයේ නිදහස විභාග අයිතිය අහිමිකරන 80% 

අධ්‍යාපනය යනු කිසියම් සමාජයක අනාගතය තීරණය කරනු ලබන ප්‍රමුඛතම සාධකයයි. මක්නිසාද යත් ඉතිහාසයක් පුරාවට සහ වර්තමානය වන විටත් මානව සමාජය විසින් එක් කරනු ලබන දැනුම අනාගත පරපුරට සම්ප්‍රේශණය කරනු ලබන මාධ්‍ය අධ්‍යාපනය වන බැවිනි. එබැවින් රටක අනාගතය සැලසුම් කරන්නේ නම් ඒ තුළ අධ්‍යාපනය සම්බන්ධ බරපතල සැලසුමක් පැවතිය යුතුය. එහෙත් එම අරමුණ සමාජීය අරමුණක් නොවන්නේ නම් එම සැලසුම් ඇති කරනු ලබන්නේ බරපතල අර්බුදයකි. සමාජයට අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම පිළිබඳව පහත අප්‍රිකානු මසායි මාරා ගෝත්‍රික කියමන මනාව පැහැදිලි කරයි.  එනම් "ඔබ සැලසුම් කරන්නේ වසරකට නම් - ධාන්‍ය වපුරන්න; ඔබ සැලසුම් කරන්නේ දශකයකට නම් - ගස් සිටුවන්න; ඔබ සැලසුම් කරන්නේ ජීවිත කාලයට නම්  ජනතාවට අධ්‍යාපනය දෙන්න" යන අධ්‍යාපනයේ සමාජීය අවශ්‍යතාව පැහැදිලි කරන කියමනයි. මෙවන් වටිනාකමක් ඇති අධ්‍යාපනය පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පරිපාලනයේ කියවීම සහ එවන් අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගෙන ඇති පියවරයන් පිළිබඳව අප නැවත සංවාද කළ යුතුව ඇත්තෙමු. 

නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාදාමය 1977න් පසු නව ලිබරල් ධනවාදයට ගොදුරු වීමෙන් පසුව සමාජයේ සියලුම ක්‍රියාවන් වෙළඳපළකරණයට ලක්වීමේ බරපතල අර්බුදයකට අප මුහුණ දෙමින් සිටින්නෙමු. එහි ප්‍රතිඵල ලෙස සමස්ථ සමාජයම පීඩා විඳින ලෙසින්ම විශ්වවිද්‍යාල සිසුන් ලෙස අපද බරපතල ලෙස මේ මොහොත වන විට පීඩා වි¢මින් සිටින්නෙමු. උක්ත ආර්ථික ක්‍රියාවලිය හමුවේ අධ්‍යපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් වීම හේතුවෙන් ඇතිවන පීඩාව හා අධ්‍යාපන ක්‍රියාවලිය තුළට වෙළඳ අරමුණු පැමිණීම තුළින් ඇති වන පීඩාව ප්‍රමුඛ සමස්ථ සමාජීය පීඩාව මේ වන විට අප ජීවිත බරපතල අර්බුදයකට පමුණුවා තිබේ. උක්ත ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට සිසුන් අධ්‍යාපනයේ සමාජීය අරමුණ ඉවත් කර වෙළඳපළ අරමුණු කරා ගෙනයාමේ බරපතල තත්වයක් උද්ගතව තිබේ. මේ හේතුවෙන් ගුරුවරුන් හා සිසුන් අධ්‍යාපනයෙන් පිටමං වීමේ බරපතල අවදානමක් මේ වන විට උද්ගත වී තිබේ. තවද සිසුන් හා ගුරුවරුන් අධ්‍යාපනයේ සැබෑ අරමුණෙන් පිටමං කරන අතරතුර අනෙක් පසින් පාලකයින් හට අවැසි පුහුණු ශ්‍රමිකයා නිර්මාණය කරගැනීම සඳහා අධ්‍යාපන ක්‍රියාවලිය දිශානතිගත වී තිබේ. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ උපාධි අපේක්ෂකයන් ලෙසත් වර්තමාන උසස් අධ්‍යාපනය සම්බන්ධ වගකීමක් ඇති පාර්ශවයක් වන අප මේ අර්බුදය වටහාගත යුතුම එකකි. 

උක්ත සංදර්භය හමුවේ මේ වන විට ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මෙන්ම අනෙකුත් විශ්වවිද්‍යාල වලටද තවත් ප්‍රධාන ගැටළුවක් උද්ගතව තිබේ. එනම් සිසුන්ගේ දේශන වලට පැමීණීම අනිවාර්ය කරමින් 80% ක අනිවාර්යක් ආවරණය වන පරිදි සිසුන් දේශන වලට පැමිණිය යුතු බවට නීති මාලාවක් හඳුන්වා දී තිබීමයි. තවද එම තත්වය තවත් උග්‍ර කරමින් සිසුන්ට 80% ක අවම සහභාගිත්වයක් නොමැති වුවහොත් එම විෂයට අදාල විභාගය පළමුවර පෙනී සිටීමක් ලෙස සලකන බවටත්, ඒ හරහා පළමුවර විභාගයට පෙනී සිටීම එම ශිෂ්‍යයාට අහිමි කරන බවටත් නීතියක්  ඇතුලත් කර ඇත. තවත් විශ්වවිද්‍යාල වල එම සිසුන්ගේ කණ්ඩායමෙන් අසමත් කිරීමට කටයුතු කරයි.  විශ්වවිද්‍යාලයක් වැනි විද්‍යාර්ථයන් බිහි කරන ආයතනයක් තුළ මෙවැනි නීති යෙදීම බරපතල අර්බුදයකි. මක්නිසාදයත් විශ්වවිද්‍යාලයක් යනු බුද්ධිමතුන් බිහිකරන තැනක් මිස පුහුණු ශ්‍රමිකයන් බිහිකරන කඳවුරක් නොවන බැවිනි. සමාසික ක්‍රමවේදය හමුවේ සිරකරන ලද සිසුන් තවදුරටත් නීතිමාලා මගින් සිර කිරීමෙන් බුද්ධිමතුන් බිහිකරගත හැකි නොවේ. මෙය අප විශ්වවිද්‍යාලයට පමණක් සීමා වූ ගැටළුවක් නොවේ. තවත් බරපතල විශ්වවිද්‍යාල ප්‍රමාණයකට මෙම නීතිය ගෙනවිත් තිබේ. එනම් මෙය උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පාලන තන්ත්‍රයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය විය යුතුය. නමුත් අධ්‍යාපන පරිපාලකයින් මෙවැනි ප්‍රතිසංස්කරණ ගෙන එන්නේ අධ්‍යාපනයේ ප්‍රගතියට නම්, මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රථම, 

  • අධ්‍යාපනයට අදාල මනෝවිද්‍යාත්මක සාධක මෙනවාද? 
  • ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට අවශ්‍ය පහසුකම් සම්පූර්ණව තිබේද?
  • අධ්‍යාපනය සම්බන්ධ බුද්ධිමතුන් මෙම නීති පිළිබඳව දක්වන අදහස් මොනවාද? 
  • ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන ගැටළු පිළිබඳව පරික්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵල මොනවාද? 
  • ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අතීතයේ මෙන් කිසිදු ක්ෂේත්‍රයක් කෙරෙහි දාර්ශනික සංවාද නොමැතිව ඇත්තේ ඇයි?
  • විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපන, පරික්ෂණ, ප්‍රකාශන, සාහිත්‍ය, දේශපාලනය, ක්‍රීඩාව තුළින් පිටමංව ඇත්තේ ඇයි? 
  • අතීතයේ මෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රමාණවත් ලෙස බුද්ධිමතුන් බිහිනොවන්නේ ඇයි?
වැනි කාරණා සම්බන්ධ අධ්‍යයනයක් කර ඇති ද යන්නයි. මක්නිසාද යත් අපගේ කියවීම අනුව සමාසික ක්‍රමය මෙවැනි ගැටළු වලට බරපතල හේතුවක්ව පවතියි. එහෙත් එවන් පසුබිමක සිට පවා තවදුරටත් පරිකල්පනය නොමැති මිනිසුන් බිහිකිරීමට තුඩුදෙන 80% වැනි මර්දන නීතිමාලා ගෙන එනු ලබන්නේ අධ්‍යාපනය කෙරෙහි ඇති සමාජමය ආකල්පයක සිට නොවන බව පැහැදිලිය. 
අප හට දක්නට ලැබෙන තරමින් නම් මෙම නීතිමාලා සහ සංස්කරණ හඳුන්වා දීමට ප්‍රථම එවැනි කිසිඳු මැදිහත් කිරීමක් සිදුකර නොමැත. මන්ද අප අධ්‍යයනය කර තිබෙන අධ්‍යාපන මනෝවිද්‍යාව තුළ ශිෂ්‍යයින් පීඩාවට ලක් කරමින් අධ්‍යාපනයට යොමු කිරීම සම්බන්ධව පවසා ඇති මූලික කාරණයක් සිහිපත් කිරීම සුදුසුය. එනම් "ඇන්ඩර්සන්" නැමැති අධ්‍යාපන මනෝවිද්‍යාඥයා අධ්‍යාපන මනෝවිද්‍යාවේ අර්ථ නිරූපනය කිරීම සඳහා ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරයි. 
  1. ශිෂ්‍ය ඉගෙනුම උපරිම වන්නේ කවර තත්වයක් යටතේ ද? 
  2. ඉගැන්වීම් උපකරණ හා ඉගැන්වීමේ ක්‍රියාවලියෙන් කවර නම් ලක්ෂණ ශිෂ්‍ය ඉගෙනුම පහසු කරන්නේද? 
යන්නයි. 
නමුත් උක්ත නීති සැසඳීමේදී මෙවැනි කරුණු සලකා බලා තිබේද, එසේ නොමැති නම් එම නීති වල අරමුණ කවර ආකාරයකින් හෝ කීකරු ශ්‍රමිකයෙකු නිර්මාණය කර ගැනීමද යන්න අප තවදුරටත් සිතා බැලිය යුතුය. තවද විසිවන සියවසේ බිහි වූ දාර්ශනිකයෙකු වන "බර්ට්‍රන්ඩ් රසල්" විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධ ඔහුගේ මතය පහත පරිදි ප්‍රකාශ කර තිබේ. "තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාලය තුළ නිකරුනේ කාලය ගත කිරීමට ඉඩ නොදිය යුතු යැයි මා ප්‍රකාශ කරන විට ඉන් අදහස් කරන්නේ කිසියම් යාන්ත්‍රික ක්‍රමයකට අනුගත වී කටයුතු කිරීම අධ්‍යාපනයේ සඵලතාවය මනින මිනුමක් ලෙස නොපැවතිය යුතු බවයි. මේ රටේ තිබෙන බොහෝ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට දේශන විශාල සංඛ්‍යාවකට සහභාගී වීම අනිවාර්ය කිරීමේ කණගාටුදායක ප්‍රවණතාවක් පවතියි."

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වලට සමාසික ක්‍රමය හා 80% නීතිය ගෙනෙන විට මෙන්ම 80% නොමැති වීම නිසා සිසුන්ගේ විභාග අයිතිය අහිමි කිරීමට නීතිමාලා සකස් කරන විට මෙම දාර්ශනිකයන්ගේ මතවාද හා අධ්‍යාපනයේ  මනෝවිද්‍යාත්මක හා සමාජවිද්‍යාත්මක පසුබිම විග්‍රහ කර ඇත්දැයි අපහට දක්නට නොමැත. මෙවැනි අධ්‍යාපන දාර්ශනික පසුබිම් සලකා අධ්‍යාපනයේ සැබෑ අරමුණ වන මානව සමාජයේ ප්‍රගතිය උදෙසා අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිසංස්කරණ විය යුතුය. නමුත් අධ්‍යාපනය අද වන විට වෙළඳ භාණ්ඩයක් හා වෙළඳ අරමුණු වෙනුවෙන් පුහුණු ශ්‍රමිකයකු නිර්මාණය කිරීමට පමණක් සීමා වී ඇති බවට මෙවැනි අධ්‍යාපනය තුළ නිදහස අහිමි කිරීම තුළින් මනාව පැහැදිලි වේ.

මෙලෙස ප්‍රබුද්ධ ප්‍රවේශයකින් තොරව බල කිරීම්, නිති දැමීම් සහ අධ්‍යාපනය තුළ සිර කිරීම් මගින් සිසුන් දේශන වලට ගෙන්වා ගැනීම් හේතුවෙන් අධ්‍යාපනයෙන් සිසුන් හා ගුරුවරුන් පිටමං වීම සිදුවනු නිසැකය. මක්නිසාදයත් අධ්‍යාපනය පීඩාකාරී ලෙස ලඟා කරගත හැකි දෙයක් නොවන බැවිනි. මෙලෙස බලකිරීම් මගින් දේශන වලට ගෙන්වා ගැනීමත්, බල කිරීම් මගින් අධ්‍යාපනය ලබා දීමත් හේතුවෙන් බිහිවන වෘතිකයින් තමාගේ වෘත්තීය ජීවිතය ගෙවනු ඇත්තේද අසහනයෙනි. මෙය වෘත්තීය ජීවිතය තුළ ඇති වන පීඩාවන් සමඟ එකතුව තව දුරටත් අසහනකාරී තත්වයකට වෘත්තීකයන් මෙහෙයවන බව නිසැකය. මෙය අධ්‍යාපන මනෝ විද්‍යාවේ "ඉගෙනුම් මාරුව" සංකල්පයෙන් තව දුරටත් පැහැඳිලි කර ගත හැකිය. නමුත් මෙවැනි සංකල්ප උක්ත නීති හා සංස්කරණ සිදුකරන විට සලකා බලා නොමැත. 

තවද විශ්වවිද්‍යාලයක වයුහය උක්ත පරිදි දේශන සදහා පමණක් දිශානතිගත වූ අධ්‍යාපන ක්‍රම සහිතව සිසුන් දේශන වලට ගෙන්වා ගැනීමේ ක්‍රම විධි ලෙස අධ්‍යාපනය සම්බන්ධව පුළුල් කියවීමක් නොමැතිව සකසන ලද 80% නීතිය වැනි නීති සමඟින් සිර කඳවුරු ලෙස සකස් කරමින් එහි සිසුන්ට, 
  • අධ්‍යාපනය
  • පර්යේෂණය 
  • ප්‍රකාශනය 
  • කලාව
  • දේශපාලනය 
  • ක්‍රීඩාව 
  • වෙනත් බාහිර ක්‍රියාකාරකම් 
කිසිවක් සඳහා යොමු වීමේ අවස්ථා සියල්ල  දැනටමත් අහිමි වී ඇත. සිසුන්ගේ දැක්ම විෂය මාලාවෙන් ඔබ්බට කිසිම ලෙසකින් යොමු වීමට කිසිදු ඉඩහසරක් ලබා දී නොමැත. සිසුන්ගේ පරිකල්පනය විෂය මාලාවට පමණක් සීමා වනු  දැකීමත් මෙහි ප්‍රතිඵල ලෙස විශ්වවිද්‍යාල තුළින් ශ්‍රමිකයින් පමණක් බිහි වනු  දැකීමත් පාලකයින්ගේ අරමුණ වී ඇත. එය එසේ වීම විද්‍යාර්ථයින් ලෙස කිසිලෙසකින්වත් අනුමත කළ නොහැකි කාරණාවකි. 
තවද ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අතීතයේ මෙලස 80% නීතිය පැවතියේ නම් සහ ව්යුහගත අධ්‍යාපනයකට පමණක් සරසවි සිසුන් දිශානතිගත කලේ නම් සහ නිදහසේ පරිකල්පනය මෙහයවීමට අවශහ් සිසුනගේ නිදහස සීමා කරන ලද්දේ නම්,
  • එදිරිවීර සරච්චන්ද්‍ර
  • ගුණදාස අමරසේකර
  • ලෙස්ටර් ජේම්ස් පීරිස්
  • මහාචාර්ය සුචරිත ගම්ලත්
  • මහචාර්ය තිස්ස කාරියවසම් 
  • හෙන්රි ජයසේන
  • දයානන්ද ගුණවර්ධන
  • සුගතපාල ද සිල්වා
  • ගුණසේන ගලප්පත්ති
  • මහාචාර්ය සරත් විජේසූරිය 
වැනි සංස්කෘතික බුද්ධිමතුන් ද මෙහි නම් සදහන් නොවු විවිධ ක්ෂේත්‍ර වල  බිහි වූ බුද්ධිමතුන් වැනි සමාජයේ වටිනාකමක් ඇති මිනිසුන් අනාගත සමාජයටම අහිමි වනු ඇත. අඩු මුදලකට වැඩි ශ්‍රමයක් ලබාදෙන ශ්‍රමිකයින් විශ්වවිද්‍යාල තුලින් බිහිකර ගැනීමට කැමති සමාගම් කරුවන් සතුටු කිරීම සඳහා මෙලෙස විශ්වවිද්‍යාලය තුළ පුහුණු ශ්‍රමිකයින් නිපදවා ගැනීමේ උත්සහයට සමාජ ව්‍යාපාරයක් ලෙස අප කිසි ලෙසකින්වත් එකඟ නොවන්නෙමු. 

එසේම අප සාකච්ඡා කරගත යුතු වැදගත්ම කරුණක් ඇත. එනම් පැහැදිලි ලෙසම ශිෂ්‍ය ප්‍රජාව අතර අධ්‍යාපනයට නැඹුරු නොවීමේ ගැටලුවක් පැවතීමයි. 1977න් පසු ලාංකීය සමාජය ද මෙම නව ලිබරල් ධනවාදයට ගොදුරු වීමේ ප්‍රතිඵලය ලෙස වර්ථමානයේ ජීවත් වන මිනිසුන් තුළ උක්ත පසුගාමී ලක්ෂණ බහුලව පවතී. විශ්වවිද්‍යාල සිසුන් හට ද එය එලෙසම බලපාන බව විවාදාත්මක නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල සිසුන්ද අධ්‍යාපනයට, කලාවට, දේශපාලනයට, ක්‍රීඩාවට, හා අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් වලට නොනැඹුරු පසුගාමී ලක්ෂණ සහිත උක්ත ක්ෂේත්‍ර වල වටිනාකම නොසලකන තමාගේ සුඛවිහරණය පමණක්ම සලකන විනෝදකාමියකු බවට  පත්වීමේ සමාජමය අවදානමකට ගොදුරු වෙමින් සිටී. එය දේශපාලනයට, කලාවට, ක්‍රීඩාවට, වෙනත් බාහිර ක්‍රියාකාරකම් වලටද එසේමය. ශිෂ්‍ය සංගමයක් හා අරගල කරන ව්‍යාපාරයක් ලෙස අපද එම පසුගාමී මානසිකත්වය හේතුවෙන් පසුබෑම් වලට ලක් වූ අවස්ථා බහුලව පැවති බවය. එම පසුගාමී මානසිකත්වය මෙම නව ලිබරල් ධනවාදී සමාජ ක්‍රමය විසින් මිනිසාට උරුම කර තිබෙන ඉරණමයි. මිනිසා සහ සමාජයට වැඩියෙන් ප්‍රාග්ධනයට මුල්තැන දෙමින් සැකසුණු නව ලිබරල් ධනවාදී නැමති අසාර්ථක සමාජ ක්‍රමය මඟින්, සමාජයේ සියලුම ක්ෂේත්‍ර වලට වාණිජමය අරමුණ කෙරෙහි නැඹුරු වූ ආත්මාර්ථකාමී ස්වාභාවයකින් යුක්ත වන අතර ඔවුන් තුළ සමාජමය අරමුණු කෙරෙහි එවන් වටිනාකමක් නොමැත. එබැවින් අධ්‍යාපනයට ද එය එසේමය. නමුදු අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් සටන් කරන අප එම අර්බුදයන් හමුවේ වුවද අධ්‍යාපනය, කලාව, ක්‍රීඩාව, දේශපාලනය සහ අනෙකුත් සෑම ක්ෂේත්‍රයන් සඳහාම සක්‍රීයව ප්‍රවේශ විය යුතුය. මන්ද අනාගත සමාජයේ බුද්ධිමතු ලෙස නම් කරන අප ඒ වන විට රොබෝවරුන් වී සිටීම සමස්ථ සමාජයේම ඛේදවාචකයක් වන නිසාවෙනි. එබැවින් මෙම පාලකයින්ගේ වුවමනාව වන රොබෝවරයෙක් වනවා වෙනුවට සමාජය වෙනුවෙන් අප අධ්‍යාපනය හැදෑරිය යුතුය. කලාව, ක්‍රීඩාව, දේශපාලනය, සාහිත්‍ය, පරීක්ෂණ සිදු කළ යුතුය.

නමුත් පරිනතයයි පවසන පරිපාලනය විසින් එයට විසඳුම ලෙස 80% අසම්පූර්ණ සිසුන්ගේ පළමු වර විභාගය අහිමි කරමින් එම විෂය අසමත් සේ සලකා ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කිරීමට කටයුතු කර ඇත. විශ්වවිද්‍යාල තුළ ආධ්‍යාත්මික, පරිකල්පනමය, සංස්කෘතික සහ දේශපාලනික ප්‍රබෝධයක් ඇති කරලීම සඳහා මැදිහත්  වීමයි. එවන් මැදිහත් කිරීම් තුළින් නැවතත් සිසුන් ඒවාට යොමුකර ගත යුතු බව අපගේ අදහසයි. එහෙත් එලෙස කිසිදු මැදිහත් වීමක් දක්නට නොමැත. එලෙස අප ශිෂ්‍ය සංගමය ලෙස මැදිහත් වන විටද බොහෝ අවස්ථා වලදී ඒවාට ද බාධාකරන අනුවණ පරිපාලකයින් අද වන විට උසස් අධ්‍යාපන ආයතන වල ප්‍රධානීන් ලෙස පත්කර තිබේ. වැලිවිටියේ ශ්‍රී සෝරත හිමි වැනි අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙනුවට අධ්‍යාපනයේ වටිනාකමක් නොදන්නා සුදුස්සන් ආදේශ වී තිබේ. මෙවන් තත්වයක් හමුවේත් අධ්‍යාපන කප්පාදු කිරීම් වලට එරෙහිව සටන් කිරීම සහ ශිෂ්‍ය සංගම් නායකයින් මර්දනය කිරීමට එරෙහිව සටන් කිරීම වැනි දුෂ්කරතා මැද පවා ශිෂ්‍යයන් ලෙස අපද එම අභියෝගය ජය ගැනීමට මැදිහත් විය යුතු වේ.
 

අවසාන වශයෙන් රුසියානු විප්ලවයේ නියමුවා වන  "වී.අයි.ලෙනින්" නැමැති නායකයාගේ අධ්‍යාපනය සම්බන්ධ උපුටනයක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමු. "ජීවිතයෙන් හා දේශපාලනයෙන් වෙනස් කරන ලද අධ්‍යාපනය බොරුවක් හා කුහකකමක් බව අප ප්‍රසිද්ධියේ කියා සිටිමු." මෙය අධ්‍යාපනය සම්බන්ධ බරපතල කියවීමක් ගෙනදෙන්නක් බව ඔබද පිළිගනු ඇතැයි අප විශ්වාස කරමු. මක්නිසාද යත් අධ්‍යාපනය යනු මානව සමාජයේ අනාගත සුබසිද්ධිය උදෙසා පවතින්නාක් මිස වෙළ`ද භාණ්ඩයක් නොවන බැවිනි.


නමුදු අධ්‍යාපනය වෙළ`දභාණ්ඩයක් කරමින් එය සමාජයේ එක් පාර්ශවයකට පමණක් උරුම වූවක් බවට පත් කිරීමට කටයුතු කරන පාලකයින් හා ඒ වෙනුවෙන් කටයුතු කරන පීඨයේ හා විශ්වවිද්‍යාලයේ පරිපාලනය කිසි විටෙකත් මෙවන් මර්දන නීති හකුළා ගනිමින් අපට අවශ්‍ය අධ්‍යාපන වටපිටාව නිර්මාණය කිරීමටවත්, සබුද්ධිමත් විද්‍යාර්ථයෙකු බිහි කිරීමටවත් කටයුතු නොකරනු ඇත. එසේම අධ්‍යාපනයේ නිදහස සම්බන්ධයෙන් අප හට පැන නැඟී ඇති සමස්ථ අර්බුදය හමුවේ අධ්‍යාපනය සම්බන්ධව මෙම කතිකාව උපයොගී කරමින් ඵලදායී මානව සමාජයේ යහපත වෙනුවෙන් සැකසුණු අධ්‍යාපන ක්‍රමවේදයක් සැකසීමට පියවර ගනු ඇතැයි ද බලාපොරොත්තු විය නොහැක. 
එබැවින් සිසුන්ගේ අධ්‍යාපන නිදහස හා විභාග අයිතිය අහිමි කරමින් කළමනාකරණ අධ්‍යයන පීඨය තුළ ක්‍රියාත්මක 80% නීතිය හා එම අවමය නොමැති වූවන් විභාගය පළමුවර පෙනී සිටිය සේ සැලකීමේ මර්දන ක්‍රියාමාර්ග හා එම සිසුන්ට විභාගය අහිමි කිරීමට ගෙන ඇති පියවරයන් පරාජය කර අධ්‍යාපනය සම්බන්ධ කතිකාවතක් සමාජය තුළ ඇති කරන බුද්ධිමත්, අවංක මැදිහත් කිරීමක් අධ්‍යාපනය වෙනුවෙන් සිදුකිරීමට අපට නැවතත් අරගල කිරීමට සිදු වනු ඇත.
 
නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීම උදෙසා අඛණ්ඩව සටන් වදිමු.
මහා ශිෂ්‍ය සංගමය - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය