Sunday, December 22, 2019

ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත්තේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉටුකරනු ලබන සුවිශේෂී මෙහෙවර නිසාවෙනි. එසේම කලාව ඉතිහාසය හා සාහිත්‍යය තුළද සබරගමුව නාමයට ඇති කීර්තිය පිළිබඳව අලුතින් අටුවා ටීකා පැවසිය යුතු නොවේ. එමෙන්ම ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය මත ගොඩ නැගෙන සාමූහික ප්‍රයත්නයන් කරණ කොට ගෙන ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද බිහිවන බුද්ධිමතුන්,කලාකරුවන් , සමාජ හිතකාමීන් ගණන අපමණය. පරමාදර්ශී සමාජයකට නූතනයේ අවශ්‍ය වනුයේ උපාධිය කරපින්නා ගත් උපාධිදාරියෙකු පමණක් නොව සමාජ හිතකාමී විශ්වීය දැනුම සොයා යන ප්‍රබුද්ධ සමාජ ක්‍රියාකාරීන් බව මොනවට පැහැදිලි වේ. නිසගයෙන්ම සරසවියට උරුම වූ සෞන්දර්යාත්මක උරුමයන්ගේ පහස ලබමින් කලාව සමාජය තුළට ගෙන ඒමත් එමගින් සමාජයට අවැසි සමාජ හිතකාමීන්, ප්‍රබුද්ධ සමාජ ක්‍රියාකාරීන් බිහිකිරීමේ වෑයමක ප්‍රතිඵලයක් ලෙසත් සබරගමුව සරසවියේ "පිරිහිඹිනි දියවර" කලා මංගල්‍යය හදුන්වා දිය හැක. පිරිහිඹිනි දියවර ශිෂ්‍යයන්ගේ සාමූහිකත්වය මත හා ඔවුන්ගේ දහඩිය මහන්සිය මතින් සමාජයට දායාද වන තිළිණයක් ලෙස මෙවරද 11 වන වරට සබරගමුව මවු භූමිය තුළ යථාර්තයක් බවට පත්ව තිබේ.

යුගයෙන් යුගය පසු කරමින් විශ්වවිද්‍යාල පද්ධතිය ආ ගමන් මග තුළ පැවති අදුරු යුගයන් හා කාල පරිච්ඡේදයන් තුළදී පවා සරසවි සිසුවාගේ පැවැති සාමූහිකත්වය හීන නොවූ බව නොරහසකි. එහෙත් නව ලිබරල් ආර්ථික රටාවේ සංසිද්ධීන් හා සමාජයේ ඇති වූ යම් යම් වෙනස්කම් මත සරසවි සිසුවාද හුදකලා වීමටද ඉඩ තිබූ අතර එසේ නොවී බුර බුරා නැගෙන ගිනි දල්ලක් මෙන් මෙකී ශිෂ්‍ය ක්‍රියාකාරීත්වය බලවත් වීම කෙරෙහි කලා ක්ෂේත්‍රය තුළ ඇති වූ ප්‍රබෝධයන් පිටුවහලක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස කලාවේ උන්නතිය උදෙසා පිරිහිඹිනි දියවර කලා උළෙල සබරගමුව විශ්වවිද්‍යාලය තුළ ආරම්භ විය.

ශිෂ්‍යයන්ට දේශපාලනයත් , කලාවත් , අධ්‍යාපනයත් තව දුරටත් පැතිරුණු ක්ෂේත්‍ර ගණනාවකම දැනුම ලබා ගැනීමට නිරතුරුව ශක්තියක් හා ධෛර්යයක් බවට පත් වූ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ලෙස මෙවරද පිරිහිඹිනි දියවර කලා උළෙල සංවිධානය කරනුයේ සිය සමාජ වගකීම ඉටුකරලීමෙහිලා  මෙන්ම සමාජීය ගැටලු කෙරෙහි සංවේදී මිනිසුන් සමාජය තුළ උපද්ධවා ගැනීමේ අධිෂ්ඨානශීලී අරමුණකිනි. ලාංකීය කලාවේ විශ්වවිද්‍යාලයීය දායකත්වයට අවශ්‍ය සම්පත් සැකසීමේ ව්‍යායාමය ඇරඹීමට අවශ්‍ය ශක්තිය මහා ශිෂ්‍ය සංගමය ප්‍රමුඛ කරගත් සබරගමුව සරසවි දරුවන්ට ඇත. හෙට පිපෙන කැකුළු සොයා නැගෙන " පිරිහිඹිනි දියවර 2019 "  එකී ශක්තිය මගින් සමාජ මෙහෙවර උදෙසා දොරගුලු විවර වන්නේ දෘශ්ඨියක් නැති මිනිසුන්ට දෘශ්ඨියක් ද , අරමුණක් නැති මිනිසුන්ට අරමුණක් ද ලබා දෙමින් සමාජය යහගුණ පිරි සංවේදී මිනිසුන්ගෙන් බලාත්මක කිරීමේ අධිෂ්ඨානශීලී අරමුණෙනි.

සමාජ සංවර්ධනය උදෙසා කලාවේ දායකත්වය පිළිබඳවත් එකී කලාව සමාජයේ බුද්ධිමය ආමන්ත්‍රණයක් වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධයෙනුත් කතිකාවතක් සමාජයට ගෙනයාම අරභයා මෙම කලා උළෙල සංවිධානය වෙයි. වර්තමානය වන විට කලාව තම සමාජීය කාර්‍යභාර්‍ය මගහරිමින් නිර්මාණකරණයේ යෙදීම මහත් ඛේදවාචයක්ව ඇත.

ඉතිහාසයේ පටන් සමාජයේ එක් එක් ස්ථරයන්ගේ සහ අවධීන්ගේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක මැදිහත්වීම තුලින් කලාව ඉතා විශාල සංවර්ධනයක් අත්පත් කරගෙන ඇති බව සැබෑ කරුණක් වුවද, කලාව කලාවේ සංවර්ධනය උදෙසා යන්නෙන් බැහැරව 'කලාව සමාජ සංවර්ධනය උදෙසා' පැවතිය යුතුය යන්න සමාජයේ අදහසක්ව නොපැවතීමම කලාවේ ගුණාත්මක සංවර්ධනය සීමා කරයි.

එයට ප්‍රධානම බලපෑම ධනේෂවර සමාජ ක්‍රමය විසින් එල්ල කරමින් පවතී. කලල් දිය මතින් නෙළුම් පුබුදින සේ කලාවද ජරපත් ධනපති ක්‍රමය තුළ වුවද පරම පවිත්‍රව පැවතිය යුතු යයි සමහරෙක් විශ්වාස කරති. ඒත් ඔවුන්ගේ මේ හීන් කෙඳිරියට ධනපති කලාවේ ඇද කුද දිග හැරිය නොහැකිව ඇත. මේ සියල්ල සමතලා කොටගෙන වත්මන් ක්‍රමය තුළ කලාව ස්වකීය වූ භාවිතාවක අනුගතව හා තහවුරුව පවතී.

කලාව බුද්ධිමය ව්‍යායාමයක් සඳහා වන මාධ්‍යයක් ලෙස වත්මන් සමාජය හඳුනා ගන්නේ නැත. වත්මන් සමාජ දුෂ්ඨියට අනුව කලාව හුදු වින්දනය සදහාම පමණක් පවතින්නකි. නිවැරදිවම අර්ථ ගන්වන්නේ නම් විඳවීම සඳහා වන උත්තේජනයකි.

ධනේෂ්වර සමාජ දෘෂ්ඨියට අනුව කලාව කලාව වෙනුවෙන් යැයි පැවසුවද, සමාජීය අර්ථයෙන් කලාවේ වර්ධනය අපේක්ෂා කරන්නවුන් කලාව සමාජය උදෙසා යැයි පැවසුවද, සත්‍ය වශයෙන්ම සිදුවන්නේ "කලාව මුදලාලිලා වෙනුවෙන්ය" යන්නය. ධනේෂ්වර සමාජයේ හරාත්මක ක්‍රියාවලිය වන ප්‍රාග්ධනය විසින් ශ්‍රමය සූරාකෑම මගින් අතිරික්ත වටිනාකම් උත්පාදනය කිරීම වත්මන් සමාජයේ කලාවෙන් වියුක්ත වූ කරුණක් නොව. කලාවද ධනපති සමාජය තුළ විශාල කර්මාන්තයක් වී ඇති අතර එවන් විශාලත්වයේ පැවැත්ම තිරණය කරණුයේ උපයන ලාභය මතය.

එවන් වට පිටාවක කලාව පිළිබඳව පොදු සමාජීය විවේචනයක් ඉදිරිපත් වීම අපේක්ෂා කල යුත්තක් වුවද ජනතාවද කලාවේ මුදලාලීකරණය අනුමත කරමින් සිටීම කණගාටුවට කරුණකි.

කලාවේ රසවින්දනය ඒ ඒ සමාජයේ විඥාණය අනුව සිදුවන්නකි. පාසල් අධ්‍යාපනය තුළින්ම සීමා සහිත චින්තයක් සහිත මිනිසුන් බිහිකිරීම ආරම්භ කරන අතර වත්මන් ජනමාද්‍ය, ටෙලිනාට්‍ය, ගීත, චිත්‍ර, චිත්‍රපටි ඇතුළු විශාල කලා නිර්මාණ ප්‍රමාණයන් විසින් සමාජය තවත් අවිද්‍යාව වෙත ඇද දමමින්, සමජයේ තර්කණ හැකියාව, නිර්මාණශීලීත්වය, සමාජශීලීත්වය, පරාර්තය වැනි මානවීය ගුණාංගයන් අභාවයට යවමින් ලිංගිකත්වය, ප්‍රචන්ඩත්වය, ආත්මාර්ථය, යුධකාමීත්වය වැනි දුර්ගුණයන් වඩවමින් සිටීම වත්මන් සමාජය තුළ හිදිමින් සමාජ සංවර්ධනය උදෙසා කලාවේ භාවිතයක් අපේක්ෂා කරන්නවුන් මුහුණ දෙන මූලික අභියෝගයක්ව ඇත.

එවන් අභියෝග රැසක් හමුවේ කලාවේ භාවිතාව කුමන ආකාරයෙන් විය යුතුද යන්න පිළිබදව සමාජයේ කතිකාවතක් නිර්මාණය කරන්නට සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය "පිරිහිඹිනි දියවර" කලා මංගල්‍ය මගින් අපේක්ෂා කරයි. "මානව සංහතියේ සංවර්ධනය උදෙසා කලාවේ දායකත්වය" යන්න තේමා කොට ගනිමින් සංවිධානය වූ සංස්කෘතික පාගමන පසුගිය 08වන දින බලංගොඩ නගරයේ සහ පඹහින්න ප්‍රදේශයේ වීදි සංචාරය කරන්නට යෙදිණි. විශ්වවිද්‍යාලයේ සියළු සිසුන්ගේ සහභාගීත්වයෙන් සහ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන, පරිපාලන අංශයන්ගේ සහ පඹහින්න ප්‍රදේශවාසීන්ගේ පූර්ණ දායක්ත්වයෙන් සංවිධානය වී තිබූ පාගමන සරසවි සිසුන්ගේ කලා හැහියාවන්ගෙන් විචිත්‍රවත් විය.

"හෙට පිපෙන කැකුළු සොයා - පිරිහිඹිනි දියවර - 2019" කලා මංගල්‍යයේ සමාරම්භක උළෙල දෙසැම්බර් මස 12 වන දින විශ්වවිද්‍යාලයීය පණීභාරත එළිමහන් රංගපීඨයේදී පැවැත් විණි.

සමාරම්භක උළෙල සදහා ආරාධිතයන් වශයෙන් ප්‍රවීන රංගනශිල්පී තුමිඳු දොඩම්තැන්න, රංගන ශිල්පිනී කලනි දොඩම්තැන්න සහ රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා සම්බන්ධ වූ අතර ප්‍රධාන දේශනය මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා විසින් පවත්වන ලදි.

දෙසැම්බර් 12 වෙදායින් ආරම්භ වුණු කලා මංගල්‍ය පුරා මසක් විවිධ කලා වැඩසටහන් වලින් විචිත්‍රවත්ව විශ්වවිද්‍යාල භූමියේදී පවත්වන්ට සියළු කටයුතු සූදානම් කර ඇත. එම වැඩසටහන් පෙළ ගැස්ම අනුව,

දෙසැ. 08 - සංස්කෘතික පාගමන
දෙසැ. 12 - සමාරම්භක උළෙල
දෙසැ. 13 - "සමාජ සංවර්ධනය උදෙසා කලාව" සංවාදය
දෙසැ. 14 - වාදබයිලා වැඩසටහන
දෙසැ. 16- දෙසැ. 20 - වල සතිය (වේදිකා නාට්‍ය)
දෙසැ. 31 - ඉරිමාව
ජන. 01 - හිමිදිරිය
ජන. 02 - හේතුවාදීන්ගේ සංවාදය
ජන. 03 - පිරිකෙතක අස්වැන්න
ජන. 04 - අසනිය
ජන. 07 - නෑඹුල් සුවඳ
ජන. 09 - දියවර සිහිනය යන වැඩසටහන් පෙළගැස්වේ.

කලාවේ නවමු අත්දැකීම් විඳගන්නටත්, වඩා යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් කතිකාවතක් සමාජගත් කිරීමටත්, සබරගමුව සිසු සිසුවියන්ගේ දක්ෂතාවයන් දැක බලාගන්නටත් "පිරිහිඹිනි දියවර- 2019" කලා මංගල්‍යත් සමඟ සහෝදරත්වයෙන් එක්වන ලෙස ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය කලාකාමී සියළු හදවත් වලට ආරාධනා කරයි.











කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
සබරගමුව විශ්වවිද්‍යාලය