Saturday, April 1, 2017

"අලුත් අවුරුදු කාගෙද?"

"අලුත් අවුරුදු කාගෙද?"

සිංහල දෙමළ අලුත් අවුරුද්ද අතලඟටම ඇවිදින්ය. බක්මහේ ඇහෙන කොහාගේ හඬත් රබන් හඩත් එක තරගෙට ගම්මාන වලත් ගෙවල් වලත් ඇසෙයි. නමුදු කොහෙක් තියා කපුටෙක්වත් පේන තෙක් මානයක නැත. රබානක් තියා රබන් ගසන්නට දන්න අයෙකුත් සොයාගත හැක්කේ කලාතුරකිනි. නමුත්  රූපවාහිණී නාලිකා එම කාර්‍යභාර්‍ය තමන්ට පැවරුණු වගකීමක් සේ ඉටුකරමින් ඇත. නගරයක් පාසා කැමරාවක් ඔසවාගෙන යන මාධ්‍යකරුවන් "අවුරුදු සුබයයි" කැමරාවක සටහන් කරගත් සැනින් රටේ සියලු දෙනාට පෙන්වීමට ඇප කැප වී කටයුතු කරන කාර්‍ය බහුල කාල සීමාවකට ඇවිත් ඇත.
අතීතය දෙස බලමින් 'ඒ කාලෙනම් අවුරුදු පට්ට' යන කියමනට රුකුලක් වන්නට නොව වටිනාකම් සමඟින් නිර්මාණය වී ඇති සංස්කෘතියට විනාශයන් ගෙන එමින් මනුශ්‍යත්වය වල දැමීමට කටයුතු කරන්නේ කවුරුන්ද යන්න විමසා බැලීමට මෙම ලිපිය ලියන්නෙමු.

          මෙම නව වසර සංස්කෘතික වශයෙන් අප්‍රේල් හෙවත් බක් මාසයේ මාසයේ සමරනු ලබන අතර අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි. විවිධ විශ්වාස සිංහල හින්දු අලුත් අවුරුද්ද හා බැඳී පවතී. කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික විශ්වාස මේ අතර වේ. බුද්ධ වර්ෂ 300 දී පමණ ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වාදීම මඟින් බෞද්ධාගමික පරිසරයක් තුල අලුත් අවුරුදු චාරිත්‍ර කිරීමට මඟ පෙන්වනු ලැබීය. රටේ බහුතර ජනතාව බෞද්ධයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙමින් සිංහල අවුරුදු වත් පිලිවෙත් කිරීමට අදත් ශ්‍රී ලාංකික ජනතාව හුරු පුරුදු වී සිටිති.
            අනෙක් අතට හින්දු ආගම ගැන සලකා බලන කල එය පුරාතණයේ සිටම බුදු දහම හා සමාන්තරව පැවතුනු ආගමක් ලෙස හඳුනා ගත හැක.එම නිසා නව අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර හින්දු ජනතාව අතර හින්දු ආගමට අනුකූලව වැඩි දියුණු විය.බෞද්ධාගම හා හින්දු ආගම ඓතිහාසිකව එකිනෙක හා බැඳී පැවතිනි. එම නිසා බෞද්ධයින් හා හින්දු භක්තිකයන් අතර අවුරුදු චාරිත්‍ර වල විශාල පරස්පරතා හඳුනා ගත නොහැක.
            මිථ්‍යා විශ්වාස හා ප්‍රබන්ධ වලට අනුව අලුත් අවුරුදු උදාව හින්දු සාහිත්‍යයට නියත වශයෙන්ම බැඳී පවතී.සාමයට අධිපති කුමරා ලෙස හින්දු ආගමේ සලකනු ලබන 'ඉන්ද්‍රදේව'පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබා දීම තහවුරු කිරීම ලෙස නව අවුරුදු උදාව සැලකේ.අවුරුදු කුමරා සුදු පැහැ රථයක නැඟී සුදු මල් වලින් සරසනු ලැබූ හත් රියන් උස ඔටුන්නක් හිස පැලඳ පොළවට වඩියි.ඔහු පළමුව පොළවේ ගුරුත්වාකර්ශණ බලය බිඳ දමා එය කිරි සයුර හෙවත් කිරි මුහුදේ ගිල්වා ගොඩට ගනු ලබන බවට මිත්‍යා විශ්වාසයක් ගැමි ජනයා අතර පවතී.
           වර්තමානයේ අවුරුදු දින සිරිත් විරිත් ඉටු කිරීම සාම්ප්‍රදායිකව නක්ෂත්‍රකරුවන් විසින් ලබා දෙන නැකැත් වේලාවන් අනුව කරනු ලබයි.එම නිසා අලුත් අවුරුදු උදාව සැමරීම ස්වදේශීය, හින්දු හා බෞද්ධ සම්ප්‍රදායන් වල සංකීර්ණ එකතුවක් ලෙස සැලකිය හැක.


කෘෂිකාර්මික රටක් වූ ලංකාවේ යල කන්නය අවසන් වී ගොයම් කපා අලුත් සහල් වලින් අටු කොටු පිරෙන සමය ආරම්භයත් සමග එන අවුරුද්ද අලුත් සහල් මංගල්‍ය ලෙසද හඳුන්වයි.  සූර්‍යා මීන රාශියෙන් මේස රාශියට ගමන් කිරීම මූලික කොටගත් නක්ෂත්‍ර විද්‍යාව මූලික කරගත් නැකත් චාරිත්‍ර හා ගෘහාශ්‍රිත මෙන්ම සමාජීය සංස්කෘතියක් ඉස්මතු කෙරෙන උළෙලකි. බොහෝ විද්‍යාත්මක මෙන්ම මිත්‍යා දුශ්ඨීන්ද ගැබ්ව ඇති අලුත් අවුරුද්ද වසර ගනනාවක සමාජ අත්දැකීම් එක්කොට වර්තමාන පරම්පරාව දක්වාද සම්ප්‍රේෂණය වී ඇත.
තම නිෂ්පාදනයන්ට දායක වන සූර්‍යා මූලික කරගෙන ගොඩනැඟී ඇති මෙම චාරිත්‍ර දමිළ ජනයා සිදු කරනුයේ තම නිශ්පාදනයේ ප්‍රධාන දායකත්වය සපයන්නා වූ ගවයා මූලික මූලික කරගෙනය. මිත්‍යා විශ්වාස මත සිදු කරනු ලබන නැකත් සම්බන්ධ කාරනා තව දුරටත් සමාජයේ ඉහලින් නඩත්තු වෙන අතර ඒ සදහා රජගෙදර නැකත් කරුවගේ සහය නොපැකිළිව ලැබෙනු ඇත.
ගැමි සමාජයේ අලුත් සහල් මංගල්‍ය මේ වන විට අලුත් අවුරුදු සැනකෙලියක් බවට පත්ව ඇති අතර සමාගම් වල මවාපෑම් වලින් තම අවුරුද්දේ හැඩය තීරණය කරගැනීමට මිනිසාට සිදුව ඇත. සියලුදෙනා එක්ව ගතකරන සහ සියලු අමනාපකම් අත්හරිමින් නව සබඳතා ගොඩනඟා ගන්නා අවුරුදු සමය වසරේ වෙහෙසකර වැඩමුරය අවසන ලබන නිවාඩු කාලය වීමද මෙයට රුකුලක් වන්නෙය. ගෙවල් දොරවල් අලුතෙන් තීන්ත හෝ ගොම ගා අලුත් ලිප් බැඳ වත්ත එළි පෙහෙළි කර පේ වෙන්නා වූ ගම් වැසියන්ට සමගාමිව ගෙදර තිබෙන්නා වූ අටුකොටුද අලුතින් ධාන්‍යය පිරවී සෞභාග්‍ය වී තිබුණි.
සියලු ණය හිඟකම් පියවා අලුතින් ආර්ථිකයට ගිනුමක් ආරම්භ කරන මව විසින් කැවුම් කිරිබත් පිරි මේසයක් හැකි පමණින් හැඩගන්වනු ලබයි. අලුත් ඇදුම් යනු අවුරුද්දේ පොඩි දරුවන්ට ලැබෙන ලොකුම ප්‍රතිලාභය වන අතර කැට පංච දැමීම, ගුඩු පැනීම වැනි කෙළි සෙල්ලම් සියලු තරුණයින් මෙන්ම අනෙකුන්ද එක සහෝදරත්වයකට මග සලසන්නට ඇත. අවුරුදු උළෙලට වන සියල්ලෝම දිනුම් පැරදුම් හමුවේ සංහිදියාව ගොඩනඟා ගනී.
නමුත් අද අපට එවන් අවුරුද්දක් දකින්නට නොහැකි වී තිබේ. සමාගම් වලට තම නිෂ්පාදනයන් අලෙවි කිරීමට සේල් සමයක් බවට අප්‍රේල් මාසය පත්ව ඇත. දැන් ඉබේ අටුකොටු පිරෙන්නේ නැත. යල කන්නය අවසන් වන විට සහල් ගෙට එන්නේද නැත. සහල් ගබඩා පිරෙනතුරු බලා සිටින ජනතාව අප්‍රේල් මුල සතියේ අටුකොටු පුරවන්නට ආසන්න නගර වලට පිරෙනු ඇත. වසර පුරාම දිවෙන්නා වූ එකම වැඩමුරය අවසන් වන්නේ දින දෙහෙකට හෝ සතියකට පමණි. ඒ නැකතට කෑම සදහා ජනතාව සංස්කෘතියක් ගොඩනගාගෙන ඇති නිසාත් එයට ඇගිලි ගැසීමට තවම අවස්ථාව උදා වී නැති නිසාමය. එහෙත් කෙසේ හෝ වැඩකරන ජනතාවගේ ශ්‍රමය සූරන් කෑමට හැකි අවසන් දිනය දක්වාම සියලු ධනපතීන් ක්‍රියාශීලී වෙයි. අවුරුද්දට දින කිහිපයකට ගෙදර දකින්න පුළුවන් මිනිසුන් නැවත වැඩට දුවන්නේ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන දිනය සමාගම් වල ලාභය වෙනුවෙන් නියම වෙන නිසාය.
අලුතින් ගොයම් කැපූ වෙල් දෙනි වල කබඩි ගසන්නට තියා පවුලේ සියලන්ටද එකට එකතු වන්නට තියෙන්නේ ආහාර අනුභවයේදී පමණි. පවුලේ සියලු දෙනා එකට එකතු වී කෑම වේලක් කන එකද අද වන විට ගෘහයට ආගන්තුකයක් වී ඇත. පවුලේ හිතවතුන්, ඥාතීන් බලන්නට යන්නේ මින් පසුවය. එහෙත් සියලු හිතමිතුරන් එකට එකතු වී මදු විතක් තොලගානව ඇරෙන්නට ඔවුන්ට කරන්නට දෙයක් නැත. එසේ යනවිට ගෙන යන්නට අවශ්‍ය "තෑගි දෙන සාස්තරේද" දැන් අපි දනිමු. ඒ රූපවාහිණී වෙළඳ දැන්වීම් වල පිහිටෙන්ය. නගරයට යන්නේ ගෙන ඒමට අවශ්‍ය සියල්ල තීරණය කරගෙනය. එය තීරණය වන්නේ අපේ වුවමනාවන්ට නොව සමාගම් වල වුවමනාවන්ටය. අවුරුද්දට ගිනි මොලවන්නට ගිනිපෙට්ටිය කුමක් ගතයුතුද යන්න පවා අප දනිමු. කුමන ඇදුම් අවුරුද්දට අදින්නේද? සෙරෙප්පු, ඔරලෝසු, බෑග් එකේ සිට සියල්ල අපේ ඔලුවේ සන්නම් නාමය සමග සටන් කිරීමට කොහෝ හා රබන් සුරල් පසුබිමින් ඇසෙන වෙළඳ දැන්වීම් වලට හැකි වී ඇත.
සියලු ණය පියවා දමා අලුත් ගිණුමක් ආරම්භ කරන ගෘහනියන් නගරයට එනතුරු තවත් සමාගම් ගණනාවක් මඟ බලමින් සිටී. ඒ ගෙවීමේ ක්‍රමයට වට්ටම් ලබා දීමටය. ණය පියවූ අවුරුද්ද මේ වන විය ණය වීමේ අවුරුද්දක් වී ඇත. සියලු දෙනා එකට එක්ව සංවිධානය කළ අවුරුදු උත්සව දැන් එසේ සංවිධානය නොවෙයි. ඒ සඳහා දැන් මහන්සි විය යුතු නොවේ. සමාගම් ඒ සමාජ වගකීම භාරගෙන ඇත. ඒ වෙනකක් නිසා නොව තම වෙළද ප්‍රචාරණයන් සිදු කරගැනීමට හා රජයට ගෙවන බදු මුදලින් ටිකක් ඉතුරු කරගැනීමටය. තරඟ ඉසව් පවත්වන්නේද සමාගම් වල වෙළද ප්‍රචාරන පුවරු,කොඩි,වේදිකා, මධ්‍යයේය. තරඟ වලට සහභාගි වන්නන් හා හැකි අය පමණක් ආවොත් ප්‍රමාණවත්ය. ඒ මාධ්‍ය වල පෙන්වීම සඳහාය. කාර්‍යබහුල මිනිසුන්ට අවුරුදු උත්සව ගැන වදවෙන්නට දෙයක් නැත. දැන් රූපවාහිණී ඔස්සේ නලු නිළියන් යොදා ගනිමින් අවුරුදු උළෙලවල් ඕනෑ තරම් සංවිධානය වනු ඇත. අපට ඒවාට සාලයේ පුටුවකට වී සම්බන්ධ විය හැක. නමුත් සංහිදියාවල් සහෝදරකම් මුකුත් නැත.
සිංහල මෙන්ම දෙමළ අලුත් අවුරුද්ද ද වන මෙය සියලු ජාතිකත්වයන්ගේ සංහිදියාවට අත්වැලක් වනු ඇත. ලංකාවේ ජාතික ගැටලුව වවාගෙන කන පාලකයන් සිටින රටක එවන් සංහිදියාවක් ඇතිවනවා විහිළුවකි. සියලු තරු රටා වලට තම අනාගතය භාරදී නක්ෂත්‍ර කරුවන්ට රට උකසට තබන පාලකයන් සිටින රටක වටිනා ස් ංස්කෘතීන් වටා ඔඩු දුවා ඇති මිත්‍යාවන් නැති වන්නේ නැත. එවන් මිත්‍යාවන් ඉවත් කර අප විසින් සංකෘතිය මිනිසාගේ යහපත් අනාගතයක් වෙනුවෙන් පෙළගැස්විය යුතුය. 
හිසතෙල් ගෑමට ගන්නා බෙහෙත් වට්ටෝරු සැබැවින්ම විද්‍යාත්මක වන්නේය. එය සමාජයේ නීරෝගී බවට උපදෙසක් දුනි. එහෙත් අද වන විට සමාගම් තම තෙල් වර්ග, රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවිය සිදු කරගැනීමට මෙවන් නැකත් යොදාගෙන ඇත. බැංකු විසින් ගනුදෙනු කිරීමට අවස්ථා සලසා දී ඇත. ඒ සඳහා අවුරුදු තෑගිද හිමි වනු ඇත. ඉස්සරමෙන් කැවුම් කොකිස් හැදිය යුතු නොවේ. ඒ ඒවාට වෙනම වෙලඳපොලක් නිර්මාණය වී ඇති නිසාය.
මිනිසුන් පිට දැවැන්ත බදු බරක් පටවා ඇති ආණ්ඩු සෑම විටම මිනිසුන් යහපත් සමාජයක යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳින බව පවසයි. නගර වල දී, කඩපිල් වලදී ගනු ලබන හඬපට වලින් ආණ්වුවට පක්ෂ හඩපට පමණක් විකාශනය කරයි. මිනිසුන් සිතනුයේ සියල්ලන්ට අවුරුදු ජයයි තමන්ට පමණක් අවුරුදු අමාරු වී ඇති බවයි. එහෙත් සියල්ලන්ට අවුරුදු අමාරු වී ඇති බවක් කිසි විටෙකත් තේරුම් නොගැනීමට ජනතාව හැඩගැස්වීමට මාධ්‍ය කටයුතු කරයි.
රජගෙදරද අවුරුද්දට කිරි ඉතිරෙනු ඇත. එය සිදු වනුයේ දැඩි මාධ්‍ය ආවරණයක් යටතේය. රජගෙදර අවුරුදු මේසයනම් සරු බව නිතර පෙනෙන්නට ඇත. රජතුමා සහ රටේ පාලකයන් සිතනුයේ සියලු ගෙවල් වල කෑම මේස ඒ හා සමාන බවය. එහෙත් ජනතාවට සිදුව ඇත්තේ රජගෙදර අවුරුදු මේසය දිහා බලා හූල්ලන්නට පමණි.  
හුදකලා වූ ජීවිත සමජායට අවැසි බව වත්මන් සමාජක්‍රමය විසින් සෑම විටම මතක් කරදෙයි. ඒවට අවශ්‍ය වටපිටාවද සකස් කරදෙයි. අවුරුදු උළෙලවල් පමණක් නොව මව් පිය සෙනෙහස, ආදරය, මෙන්ම සියලු මානව අයිතීන් මිල කිරීමේ මෙන්ම ලාභ උපරිම කිරීමට හැකි සමාගම් වල දිනයක් ලෙස අලුත් අවුරුද්ද පත්ව ඇත. පාලකයන්ට තවත් ඡන්ද ව්‍යාපාරයක් වන අවුරුද්ද මාධ්‍ය වලට ද අවුරුද්දක්ම වන්නේය.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ අධ්‍යාපන අනුකමිටුව විසින් සංවිධානය කරන "LIMIT නැති හංදිය" වැඩසටහන 2017.03.31 දින "අලුත් අවුරුද්ද කාගේද?" යන්නෙන් ගොඩනැඟූ සංවාදය ඇසුරිණි.

අධ්‍යාපන අනුකමිටුව.මහා ශිෂ්‍ය සංගමය.



1 comment:

  1. Digatama liyanna malli. Thawa sanwaada patan ganna.kawruth ena ekak nee. Dennek unath sanwaadeta ethi.
    Jaya wewa. ..!

    ReplyDelete